37. “හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති ආශීවිෂයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහා ලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි සිය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් කෘෂ්ණසර්පයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් ඇවිළගත්, හාත්පසින් ඇවිළගත්, ගිනිදැල් සහිත වූ ගිනිඅඟුරුවළෙක අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. ඒ කවර හෙයින? යත්: හිස් පුරුෂය, එය හේතු කොට ගෙණ මරණයට හෝ පැමිණෙන්නේ ය. නැත හොත් මරණය වැනි දුකකට පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කා බුන් මරණින් මතු සැපයෙන් පහ වූ නරකගතියෙන් යුක්ත වූ විවශ ව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. මේ හේතුවෙන්, හිස් පුරුෂය, කා බුන් මරණින් මතු අපාය නම් වූ දුග්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය.
38. “හිස් පුරුෂය, ඒ මෙබඳු වූ සාවද්යකර්මයෙහි තෝ නීචජනයන්ගේ ස්වභාවයක් වූ, ගම්වැස්සන්ගේ ස්වභාවයක් වූ, ලාමකපුරුෂයන්ගේ ස්වභාවයක් වූ, රාගාදි කෙලෙසුන්ගෙන් දූෂිත වූ, දියකිස අවසන් කොට ඇති, රහසේ කට යුතු වූ, දෙදෙනෙකුන් දෙදෙනෙකුන් විසින් සමවැද්දැ යුතු වූ මෛථුන ධර්මයට සමවන්නෙහි ය. හිස් පුරුෂය, තෝ බොහෝ දෙනා අතුරෙන් අකුශල ධර්මයන්ට ආදිකර්තෘ වෙහි. පූර්වඞ්ගම වෙහි. හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. පැහැදුනවුන්ගේ වැඩියක් පැහැදීම පිණිස හෝ නො වෙයි. වැලිදු, හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස ද පැහැදුනා වූ ඇතැමුන්ගේ අන්යථාත්වය පිණිස ද වේ.”
39. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් සුදින්නහට නොයෙක් ක්රමයෙන් ගර්හා කොට (තමන් විසින් ද, අනුන් විසින් ද) දුර්භරභාවයෙහි ද දුකසේ පෝෂණය කට හැකි බව්හි ද, මහත් ආශා ඇති බව්හි ද, ලද දැයෙකින් සතුටු නො වීමෙහි ද, ගණසමූහයා කෙරෙහි ඇලීමෙහි ද, කුසීත බවෙහි ද අගුණ වදාරා, නොයෙක් ක්රමයෙන් සුභර භාවයෙහි ද, සුව සේ පෝෂණය කට හැකි බව්හි ද, අපිස් වූවහුගේ ද, ලද දැයෙකින් සතුටු වන්නහුගේ ද, කෙලෙස් සිඳ ලන්නහුගේ ද, කෙලෙස් කම්පිත කළහුගේ ද, ප්රසාදය එළවන සංවරයාගේ ද, කෙලෙස් රැස් නො කිරීමෙහි ද, වීර්ය්යාරම්භයෙහි ද, ගුණ වදාරා, භික්ෂූන්ට එතැනට සුදුසු වූ එයට අනුලොම් වූ දැහැමි කථාවක් කොට භික්ෂූන් ඇමතූ සේක.
40. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝයාගේ හිත සුව පිණිස, සඞ්ඝයාගේ පහසු බව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්රහය පිණිස, ප්රියශීල භික්ෂූන්ගේ ඵාසුවිහරණය පිණිස, මෙලොව දී පැමිණියැ හැකි දුක් දුරු කිරීම පිණිස, පරලොව දී පැමිණෙන දුක් නැසීම පිණිස, නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස, සද්ධර්මයාගේ චිරස්ථිතිය පිණිස, විනයානුග්රහය පිණිස ය යන මේ දස හිතවිශේෂයන්ගේ නිෂ්පත්තිය පිණිස භික්ෂූන්ට සිකපදයක් පණවන්නෙමි. මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මෙවුන්දම් සෙව්නේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ සංඝයා හා ඒකකර්මාදිසංවාස නැති වන බැවින් (අසංවාස සහවාස නැත්තෙක්) වේ.”
භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මෙසේත් මේ ශික්ෂාපදය පණවන ලද්දේ වෙයි.
[මුල් පැණවීමයි.]
සුදින්න බණවර නිමි.