පඤ්චම ශික්‍ෂාපද යි.
8. 7. 6.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ හිස මතු වෙළා සිටියහුට දහම් දෙසත් ...
“හිස වෙළා සිටි නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. වෙඨිතසීස නම්: කෙස්කොන් නො දක්වාවෙළන ලදුයේ වෙයි.
හිස වෙළා සිටි නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වෙළා සිටි නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට කෙස්කොන් විවරවා දෙසා නම් ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
8. 7. 7.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ හිස වසා පෙරෙවියහට දහම් දෙසත් ...
“හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
ඔගුණ්ඨිතසීස නම්: හිස සහිත පෙරෙවියේ කියනු ලැබෙයි.
2. හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට හිස විවර කරවා දෙසා නම්, ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
8. 7. 8.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ බිමෙහි හිඳ අස්නෙහි හුන්නහුට දහම් දෙසත් ...
“බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 7. 9.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසත්, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසූහු” දැ යි. ... සැබෑ ද මහණෙනි, තෙපි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසවු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු.