ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
8. 4. 7.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු සූප ද බත් ද තමා පිණිස විනවා ගෙනැ වළඳත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු ද? කවරක්හට මිහිරි නො මැනැවි ද? කවරක්හට රසය නො රුස්නේ දැ” යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ [අකිර්‍තතිශබ්දය] ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු දැ” යි ... සැබෑ ද මහණෙනි, තෙපි සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වළඳවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“සූප හෝ බත් හෝ තමා පිණිස විනවාගෙනැ නො වළඳන්නෙමැ යි හික්මියැ යුතු” යි.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි භික්‍ෂූහු ගිලන්වූවෝ වෙති. ගිලනුන් පුළුවුස්නා මහණහු ගිලනුන්ට මෙය කීහු. ඇවැත්නි, කිම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? ඇවැත්නි, ඇපි පෙරැ සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වළඳම්හ. එහෙයින් අපට පහසු වෙයි. දැන් වූකලි භාග්‍යවතුන් විසින් පිළිකෙව් කරන ලදැ යි කුකුසන්නමෝ නො විනවම්හ. එහෙයින් අපට පහසු නො වෙයි. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූසේකැ. “මහණෙනි, ගිලන් මහණහු විසින් සූප ද බත් ද තමා පිණිස විනවා ගෙනැ වළඳන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“නො ගිලන් වැ සූප හෝ බත් හෝ තමා පිණිස විනවා ගෙනැ නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.