පඤ්චම ශික්‍ෂාපද යි.
8. 2. 6.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි හිඳිත් ...
“කය සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
කය සලමින් ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. කය නිසල කොට ඍජු වැ තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස කය එල්වමින් කය සොලවමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
8. 2. 7.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බාහුව එල්වමින් බාහුව සල සලා ඇතුළුගමෙහි යෙත් ...
“අත් සල සලා ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
බාහුව සලමින් ඇතුළුගමෙහි නො යායුතු යි. බාහුව නිසල කොට තබා යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස බාහුව එල්වමින් බාහුව සලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
8. 2. 8.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණහු අත් එල්වමින් ඇතුළුගමෙහි හිඳිත් ...
“අත් සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
බාහුව සල සලා ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. බාහුව නිසල කොට තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස බාහුව එල්වමින් බාහුව සලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 2. 9.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණහු හිස එල්වමින් හිස සල සලා ඇතුළුගමෙහි යෙත් ...
“හිස සල සලා ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු”.
2. හිස සලමින් ඇතුළුගමෙහි නො යායුතු යි. හිස නිසල කොට ඍජු වැ තබා යායුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස එල්වමින් හිස සලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.