3. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.
විකාල නම්: මද්දහන ඉක්මැ ගිය කල්හි අරුණ නැගීම දක්වා.
ඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සප්තාහ කාලිකය ද යාවජීවිකය ද තබා සෙසු දෑ ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: බත් යැ, කොමු යැ, අත්සුණු යැ, දියමස් යැ, ගොඩමස් යැ යන පස් බොජුනි. කන්නෙමි වළඳන්නෙමැයි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
විකාලයෙහි විකාලසංඥා ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. විකාලයෙහි විමති ඇති යේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. විකාලයෙහි කාලසංඥා ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වේ.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
කාලයෙහි විකාලසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කාලයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. කාලයෙහි කාලසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය කරුණක් ඇති කල්හි වළඳා නම්, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
සත්වැනි විකාලභොජන ශික්‍ෂාපදයි.
6. 4. 8.
සන්නිධිකාර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරණුවෝ ආරණ්‍යයෙහි වෙසෙති. උන්වහන්සේ පිඬු පිණිස හැසිරැ සූප ව්‍යඤ්ජනයෙන් නො මුසු බත් ආරාමයට ගෙනැ ගොස් වියළවා තබති. යම් දිනෙකැ අහරින් ප්‍රයෝජන වේ ද, එදින දියෙන් තෙම තෙමා වළඳති. බොහෝ කලෙකින් පිඬු පිණිස ගමට පිවිසෙති. භික්‍ෂූහු ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන්ට මෙය කීහු: ඇවැත්නි බෙල්ලට්ඨිසීසයෙනි, කුමකට තෙපි බොහෝ කලෙකින් පිඬු පිණිස ගමට පිවිසෙවු දැයි.