13. වෙහෙරෙහි මකුණු දැල් වේ නම් උඩ සිට පළමු කොට ඉවත් කළ යුතු ය. ඇතුළතපිටත ජනෙල්කවුළු හා කාමරයෙහි මුළුසතර පිසදැමිය යුතු ය. ගුරුයෙන් පිරියම් කළ බිත්තිය හටගත් පුස් ඇත්තී නම් රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. කළු පැහැ කළ බිම හටහත් පුස් ඇත්තී නම් රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. බිම පිරියම් නො කරණ ලද නම් දිය ඉස “වෙහෙර නො කිලිටි වේවා” යි හැමදිය යුතු ය. කසළ රැස් කොට පසෙක ඇමිය යුතු ය.
14. බුමුතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ පරිදි තැබිය යුතු ය. ඇඳපාඅළු වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. ඇඳ වියලා ශුද්ධ කොට ගසා දමා පාත් කොට නො ගටා දොරබාව නො හප්පා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් මනාකොට පැණවිය යුතු ය. පුටුව වියලා ශුද්ධ කොට ගසා දමා පාත්කොට නො ගටා දොරබාව නො හප්පා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් මනා කොට පැණවිය යුතු ය. ගුදිරිය හා කොට්ටය වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් පැණවිය යුතු ය. හිඳිනා කඩ හා පසතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් පැණවිය යුතු ය.
15. කෙළමලාව වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. වැතිරහෝනා පුවරුව වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්රය බහා තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්රය බහා නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුරු ලන උණදඬුව හෝ රැහැණ හෝ පිස දමා නුවාව එහාට හා දරණය මෙහාට තබා සිවුර බැහිය යුතු ය.
16. පෙර දිගින් නගිනා වාතයෝ දූලි සහිත ව හමත් නම්, පෙර දිග වාකවුළු වැසිය යුතු ය. බස්නා හිරින් නැග එන වාතයෝ දූලි සහිත ව හමත් නම්, බස්නා හිර වාකවුළු වැසිය යුතු ය. උතුරු දිගින් නගිනා වාතයෝ දූලි සහිත ව හමත් නම්, උතුරු දිග වාකවුළු වැසිය යුතු ය. දකුණු දිගින් නගිනා වාතයෝ දූලි සහිතව හමත් නම් දකුණු දිග වාකවුළු වැසිය යුතු ය. ශීත කාලය වේ නම්, දහවල වාකවුළු ඇර දැමිය යුතු ය. රාත්රියෙහි වැසිය යුතු ය. උෂ්ණකාලය වේ නම්, දහවල වාකවුළු වැසිය යුතු ය. රාත්රියෙහි ඇර දැමිය යුතු ය.
17. පිරිවෙණ කසළ සහිත වේ නම්, පිරිවෙණ හැමැදිය යුතු ය. ඇතුළු ගෙය කසළ සහිත වේ නම්, ඇතුළු ගෙය හැමැදිය යුතු ය. උපස්ථානශාලාව කසළ සහිත වේ නම්, උපස්ථානශාලාව හැමැදිය යුතු ය. ගිනිගල් ගෙය කසළ සහිත වේ නම්, ගිනිහල් ගෙය හැමැදිය යුතු ය. වැසිකිළිය කසළ සහිතවේ නම්, වැසිකිළිය හැමැදිය යුතු ය. පැන් නොවේ නම්, පැන් එළවා තැබිය යුතු ය. පරිභෝගයට සුදුසු දිය නො වේ නම්, පරිභෝගයට සුදුසු දිය එළවා තැබිය යුතු ය. වැසිකිළිදියසැළෙහි දිය නො වේ නම්, වැසිකිළිදියසැළෙහි දිය වක් කළ යුතු ය.
18. අතැවැසියාහට ශාසනයෙහි නො ඇල්මෙක් උපන්නේ නම්, ආචාර්ය්යයා විසින් අන් තැනකට ගෙණ යා යුතු ය. “අනෙකකු ලවා අන් තැනකට පමුණුවා ලිය යුතු ය. ඔහුට ධර්මකථා හෝ කිය යුතු ය. අතැවැසියාහට කුකුසෙක් උපන්නේ නම්, ආචාර්ය්යයා විසින් දුරුකට යුතු ය. “අතැවැසියාගේ කුකුස හැරලව”යි අන් මහණෙකුට කිය යුතු ය. ඔහුට ධර්මකථා හෝ කිය යුතු ය. අතැවැසියාහට මිසදිටුවෙක් උපන්නේ නම්, ආචාර්ය්යයා විසින් දුරුකට යුතු ය. අනිකකු ලවා හෝ එය දුරු කරවිය යුතු ය.
19. අතැවැසි තෙමේ ගරු ඇවැතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ ද, ආචාර්ය්යයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ අතැවැසියා හට පිරිවෙස් දෙන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
20. අතැවැසි තෙමේ මුල සිට පිරිවෙස් පිරීමට සුදුසු වූයේ වේ ද, ආචාර්ය්යයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ අතැවැසියා මුලසිට (පිරිවෙස් පිරීමට) අදින්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
21. අතැවැසි තෙමේ මානතට සුදුසු වූයේ වේ ද, ආචාර්ය්යයා විසින් කෙසේ නම් සඞ්ඝ තෙමේ අතැවැසියාහට මානත දෙන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.