1. නාග වර්‍ගය
8. 1. 1.
සුද්ධික සූත්‍රය
342. සැවැත්නුවර:
මහණෙනි, මේ නාගයෝනි සතරෙකි. කවර සතරෙක් ද යත්: අණ්ඩජ (බිජුවටින් උපන්) නාගයෝ ය, ජලාබුජ (ගර්‍භාශයෙන් උපන්) නාගයෝ ය, සංසේදජ (තෙතමනෙහි උපන්) නාගයෝ ය, ඕපපාතික (උපපාදුක ව එකවර ම උපන්) නාගයෝ ය යි … මහණෙනි, මේ නාගයෝනි සතර යි.
8. 1. 2.
පණීතතර සූත්‍රය
343. සැවැත්නුවර:
මහණෙනි, මේ නාගයෝනි සතරෙකි. කවර සතරෙක් ද යත්: අණ්ඩජ නාගයෝ ය, ජලාබුජ නාගයෝ ය, සංසේදජ නාගයෝ ය, ඕපපාතික නාගයෝ යි. මහණෙනි, එහි අණ්ඩජ නාගයන්ට වඩා ජලාබුජ නාගයොත් සංසේදජ නාගයොත් ඕපපාතික නාගයොත් ඉතා ප්‍රණීතයහ.
මහණෙනි, එහි අණ්ඩජ නාගයන්ටත් ජලාබුජ නාගයන්ටත් වඩා සංසේදජ නාගයොත් ඕපපාතික නාගයොත් ඉතා ප්‍රණීතයහ.
මහණෙනි, එහි අණ්ඩජ නාගයන්ටත් ජලාබුජ නාගයන්ටත් සංසේදජ නාගයන්ටත් වඩා ඕපපාතික නාගයෝ ඉතා ප්‍රණීතයහ. මහණෙනි, මොහු සිවු නාගයෝනීහු යි.
8. 1. 3.
උපෝසථ සූත්‍රය
344. සැවැත්නුවර:
එ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස මෙහි, ඇතැම් අණ්ඩජ, නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද? ප්‍රත්‍යය කිමෙක් දැ යි?
මහණ, මෙහි ඇතැම් අණ්ඩජ නාගයන්ට මේ බඳු අදහසෙක් වෙයි: පෙර අපි කයින් දෙකක් (කුසල් අකුසල්) කරන්නමෝ වූම්හ, වචනයෙන් දෙකක් කරන්නමෝ වූම්හ, සිතින් දෙකක් කරන්නමෝ වූම්හ. ඒ අපි කයින් දෙකක් කරන්නමෝ වදනින් දෙකක් කරන්නමෝ සිතින් දෙකක් කරන්නමෝ කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණියම්හ. ඉඳින් අද අපි කයින් සුසිරිත් කරන්නමෝ වදනින් සුසිරිත් කරන්නමෝ සිතින් සුසිරිත් කරන්නමෝ නම් මෙසේ අපි කාබුන් මරණින් මතු මනා ගති ඇති සගලොවට පැමිණෙන්නෙමු. එහෙයින් අපි දැන් කයින් සුසිරිත් කරම්හ වදනින් සුසිරිත් කරම්හ සිතින් සුසිරිත් කරම්හ”යි.
මහණ, මෙහි ඇතැම් අණ්ඩජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
8. 1. 4.
දුතිය උපෝසථ සූත්‍රය
345. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: වහන්ස, මෙහි ඇතැම් ජලාබුජ නාගයෝ යම් හෙයෙකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝ ත් වෙත් නම් එයට හේතු කිමෙක් ද? ප්‍රත්‍ය කිමෙක් දැ යි? ...
මහණ, මෙහි ඇතැම් ජලාබුජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
8. 1. 5.
තතිය උපෝසථ සූත්‍රය
346. සැවැත්නුවර:
එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: “වහන්ස, මෙහි ඇතැම් සංසේදජ නාගයෝ යම් හෙයෙකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ” යි? ...
මහණ, මෙහි ඇතැම් සංසේදජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
8. 1. 6.
චතුත්‍ථ උපෝසථ සූත්‍රය
347. සැවැත්නුවර:
එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, මෙහි ඇතැම් ඕපපාතික නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ”යි?.