4. 1. 2.
රූප සූත්‍රය
303. සැවැත්නුවර:
මහණෙනි, රූප අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන් පරිදි වනසුලු යැ. ශබ්ද අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ගන්‍ධ අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදිවනසුලු යැ. රස අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ස්ප්‍රෂ්ටව්‍යය අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ. අන්පරිදිවනසුලු යැ. ධර්‍ම අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ අන්පරිදි වනසුලු යි.
මහණෙනි, යමෙක් මේ දහමුන් මෙසෙයින් හදහයි ද, (හැදහීමෙන්) විමෝක්‍ෂය පිළිලබයි ද මේ පුද්ගල ‘සද්ධානුසාරී’යි කියනු ලැබෙයි … ආර්‍ය්‍ය මාර්‍ගයට බැසගත් සත්පුරුෂ භූමියට පිවිසි පෘථග්ජන භූමිය ඉක්මැ වූ මේ පුද්ගල ‘ධම්මානුසාරී’ යි කියනු ලැබෙයි. යම් කර්‍මයක් කොට නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්‍රේතවිෂයට හෝ (උත්පත්ති විසින්) නො එළැඹේ ද ඒ කර්‍ම කරන්නට නො නිසි යැ. යම්තාක් සෝතාපත්තිඵලය පසක් නො කෙරේ ද, ඒතාක් කලුරිය කරන්නට ද නො නිසි මැ යි.
මහණෙනි, යමෙක් මේ දහම් වෙසෙසින් දනියි ද, දකියි ද, මේ පුඟුල් සෝතාපන්න යැ, අවාහි නොහෙන සුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පිහිට කොට ඇතැයි කියනු ලැබේ.
4. 1. 3.
විඤ්ඤාණ සූත්‍රය
304. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුවිඤ්ඤාණය අනිසයැ. වෙනස් වනසුලු යැ ‘අන් පරිදි වනසුලු යැ. සෝතවිඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. ඝාන විඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ජිව්හාවිඤ්ඤාණය අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. කායවිඤ්ඤාණය අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. මනෝවිඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යි.
මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ අදහා නම් විමෝක්‍ෂය පිළිලබා නම් ‘සද්ධානුසාරී’ මේ පුද්ගල … සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ.
4. 1. 4.
ඵස්ස සූත්‍රය
305. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ සෝතසම්ඵස්සය … ඝානසම්ඵස්සය … ජිව්හාසම්ඵස්සය ... කායසම්ඵස්සය … මනෝසම්ඵස්සය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ හදහා නම් ... සම්බෝධිය පිහිට කොට ඇත්තේ යයි කියනු ලැබේ.
4. 1. 5.
වේදනා සූත්‍රය
306. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් ... සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ.