3. 4. 26.
අදුක්ඛමසුඛී සූත්‍රය
301. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය නොදුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි.
වහන්ස, අනිත්‍ය ය. … වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ ය, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ? යි
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. … වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට සුදුසු දැ යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, එහෙයින් මෙහිලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි රූපයක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි. යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් … යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි විඥානයෙක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහිත් කලකිරෙයි. වේදනාවෙහිත් කලකිරෙයි. සංඥාවෙහිත් කලකිරෙයි. සංස්කාරයන්හිත් කලකිරෙයි. විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
සිවුවැනි චතුත්‍ථ ගමන වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්‍ථි අත්තා, කරතො, නත්‍ථි හේතු සූත්‍රයෝ ය. අට වැනි මහාදිට්ඨි සූත්‍ර ය, සස්සතලෝක, අසස්සතලෝක, අන්තවත් ලෝක, අනන්තවත් ලෝක, තංජීවං තංසරීරං, අන්‍යත් ජීවං අන්‍යත් ශරීර, සූත්‍රයෝ ය, හොති තථාගත, න හොති තථාගත, හොතිච නච හොති තථාගත, නෙච හොති න නහොති තථාගත සූත්‍ර සතර ය, රූපී අත්තා, අරූපී අත්තා එසේ ම අනෙක් රූපී අරූපී අත්තා, නෙච රූපී නාරූපී අත්තා, ඒකන්ත සුඛී අත්තා, ඒකන්ත දුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා, අදුක්ඛමසුඛි අත්තා සූත්‍රයෝ ය යි සවිසි සූත්‍ර කෙනෙකි.
දිට්ඨි සංයුත්තය නිමියේ යි.