3. 1. 7.
හේතු සූත්‍රය
212. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙත්. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුවක් නැත, ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ විශුද්ධි වෙත්. (තමා සුවපත් කරනුවට) බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂ ශක්තියෙක් නැත, පුරුෂ පරාක්‍රමයෙක් නැති. සියලු සත්ත්‍වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝ වශයෙහි නො පවත්නාහු බල නැත්තාහු වීර්‍ය්‍ය රහිත වූවාහු නියත වශයෙන් සංක්‍රමණ වශයෙන් හා ස්වභාව වශයෙන් නන්වැදෑරුම් බවට පැමිණියාහු සවැදෑරුම් (කෘෂ්ණ නීලාදී) අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භග්‍වත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “සත්ත්‍වයන් ගේ කෙලෙසීමට හේතුයෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති … සවැදෑරුම් අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැත. … සවැදෑරුම් අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ? යි
වහන්ස, අනිත්‍ය යැ ….
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සත්ත්‍වයන්ගේ කෙලෙසීමට “හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැත. … ෂඩ් භිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?”
වහන්ස, තෙල නො වේ මැ යි.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ…
යමෙක් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව, ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, හේතුරහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ විශුද්ධ වෙත්. බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂශක්තියෙක් නැත, පුරුෂපරාක්‍රමයෙක් නැති. සියලු සත්ත්‍වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝ වශයෙහි නො පවත්නාහු බලරහිත වූවාහු වීර්‍ය්‍ය නැත්තාහු නියත වශයෙන් සංක්‍රමණ වශයෙන් හා ස්වභාව වශයෙන් නන්වැදෑරුම් බවට පැමිණියාහු ෂඩභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ නම් දුක්ඛ යෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න යි කියනු ලැබේ යි.
3. 1. 8.
මහාදිට්ඨි සූත්‍රය
213. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා මෙබඳු දෘෂ්ටියක් උපදී ද? කිසිවකු විසින් නො කරන ලද, නො කළ විධාන ඇති, ඉදු බෙලෙනුදු නො මැවුණු, අන් කිසි ලෙසෙකිනිදු නො මවන ලද, වඳ වූ (කිසිවක් නො උපදවන), පර්‍වත කූටයක් සේ ස්ථිර (පරිනාම රහිත) ඉන්‍ද්‍රකීලයක් සෙයින් නො සැලී සිටුනා, මේ සත්කාය (සමූහ) කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, නො පෙරළෙති, උනුනට බාධක නො වෙති, උනුනට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුව දුක් දෙක ම පිණිස හෝ නො වෙත්.