3. 1. 4.
නො ච මෙ සියා සූත්රය
209. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ ය. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද, අනිත්ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්ය යැ.
යමෙක් අනිත්ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො ද වන්නේ යයි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය… මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්ය හෝ වේ ද, අනිත්ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්ය යැ.
යමෙක් වූ කලී අනිත්ය නම් එ දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට: ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, මතු නො වන්නෙම් නම් මතුදු (පස්කඳෙක්) නො ද වන්නේ යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, ආර්ය්යශ්රාවකහට මෙ සතැන්හි සැකය ප්රහීණ වූයේ වේ ද, ඔහුට දුකෙහි දු සැකය ප්රහීණ වූයේ වෙයි … දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහට සැකය ප්රහීණ වූයේ වෙයි. මහණෙනි, මේ ආර්ය්යශ්රාවක සෝතාපන්න යැ, අපායෙහි නො හෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පරායණ කොට ඇත්තේ වේ ය යි කියනු ලැබේ යි.
3. 1. 5.
නත්ථි දින්න සූත්රය
210. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස දෙන ලද්දෙහි ඵල විපාක නැත. මහායාගයෙහි ඵල විපාක නැත. ප්රහෙණක සත්කාරයෙහි ඵලවිපාක නැත. කුශලාකුශලකර්මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. මෙ ලොවෙක් නැත. පරලොවෙක් නැත. මවක් නැත. (මවට කළ උපකාරයෙන් ඵලවිපාක නැත) පියෙක් නැත. පියාට කළ උපකාරයෙන් ඵලවිපාක නැත) ඕපපාතික (මැරෙන උපදින) සත්ත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැනැවින් දැන පසක් කොට ප්රකාශ කෙරෙත් නම් මනාව පිළිපන් මැනැවින් ගිය (අනුලෝමප්රතිපදා ප්රතිපන්න එ බඳු) මහණ බමුණෝ ලොව නැත. මේ පුරිස් තෙමේ චාතුර්මහාභුතයන්ගෙන් හටගත්තේ යැ. යම් කලෙක කලුරිය කෙරේ නම් (එ කල්හි) පඨවි ධාතුව පඨවිධාතුව කරා යෙයි, පැමිණෙ යි. ආපෝධාතුව ආපෝධාතුව කරා යෙයි, පැමිණෙයි, තේජෝධාතුව තේජෝ ධාතුව කරා යෙයි, පැමිණෙයි, වායෝධාතුව වායෝධාතුව කරා යෙයි, පැමිණේ. ඉඳුරෝ අහසට පැනගනිත්. මිනී ඇඳ පස් වැනි කොට ඇති පුරුෂයෝ මළ සිරුර ගෙන යෙත්. (ගුණාගුණ) පදයෝ සොහොන දක්වා පෙනෙත් ඇට පරෙවි පැහැවන් වේ. හෝමදානයෝ අළු කෙළෙවර කොට ඇත්තෝ ය. මේ දානය නම් අඥානයන් විසින් පනවන ලද්දකි. යම් කිසි කෙනෙක් ආස්තිකවාදය බෙණෙත් නම් එය ඔවුන්ගේ හිස් බොරු ප්රලාපයෙකි. බාලයෝත් පණ්ඩිතයෝත් කාබුන් මරණින් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙතැ යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “දෙන ලද්දෙහි විපාක නැත. මහායාගයෙහි විපාක නැත. … කය බිඳීමෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙති යි මෙ බඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස දෙන ලද්දෙහි විපාක නැත. මහායාගයෙහි විපාක නැත. … කායභේදයෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙති” යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ’යි හැඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්ය ය ….
යමෙක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “දෙන ලද්දෙහි ඵල විපාක නැත. මහායාගයෙහි ඵල විපාක නැත. … කය බිඳීමෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නොවෙති” යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?