1. ඣාන වර්ගය
13. 1. 1.
සමාපත්ති කුසල සූත්රය
662. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යානලාභී පුද්ගලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:
මහණෙනි, මෙලොවැ කිසියම් ධ්යායී පුද්ගලයෙක් (ධ්යානාඞ්ග ව්යවස්ථාන විසින්) සමාධිකුසල වෙයි, සමාධියෙහි (ධ්යානයට සමවැදීම් විසින්) සමාපත්තිකුසල නො වේ.
මහණෙනි, මෙලොවැ කිසියම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි සමාධි කුසල නො වේ.
මහණෙනි, මෙලොවැ කිසියම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි නො ද සමාධිකුසල වෙයි, සමාධියෙහි නො ද සමාපත්තිකුසල වේ.
මහණෙනි, මෙලොවැ කිසියම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල ද වෙයි, සමාධියෙහි සමාපත්තිකුසල ද වේ.
මහණෙනි, ඔවුන් කෙරෙහි යම් මේ ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි සමාපත්ති කුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්යායී පුද්ගලයන් අතුරෙන් අග්ර ද වෙයි, ශ්රේෂ්ඨ ද වෙයි, ප්රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්රවර ද වේ.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි, කිරට වඩා දිහි, දිහියට වඩා වෙඬරු, වෙඬරුවට වඩා ගිතෙල්, ගිතෙලට වඩා ගිතෙල් මණ්ඩය එහි ලා අග්රයයි කියනු ලැබේ ද, මහණෙනි එසෙයින් ම යම් මේ ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි සමාපත්තිකුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්යායී පුද්ගලයන් අතුරෙන් අග්ර ද වෙයි. ශ්රේෂ්ඨ ද වෙයි, ප්රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්රචරද වේ යි.
13. 1. 2.
ඨිති කුසල සූත්රය
663. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:
මහණෙනි, මෙලොවැ එක් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි, සමාධියෙහි ඨීතිකුසල (සමාධිය කලක් පවත්වා ගැන්මට දක්ෂ) නො වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨීතිකුසල වෙයි, සමාධියෙහි සමාධිකුසල නො වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල නො ම වෙයි. සමාධියෙහි ඨීතිකුසල නො ද වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල ද වෙයි, සමාධියෙහි ඨිති කුසල ද වේ.
මහණෙනි එහි යම් මේ ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි ඨිතිකුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්යායීන් අතර අග්ර ද වෙයි, ශ්රේෂ්ඨ ද වෙයි, ප්රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්රවර ද වේ.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ද, කිරට වඩා දිහි, දිහියට වඩා වෙඬරු, වෙඬරුවට වඩා ගිතෙල්, ගිතෙලට වඩා ගිතෙල්මණ්ඩය එහි ලා අග්ර වෙයි. මහණෙනි එසෙයින් ම යම් ඒ ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වේ ද ... ප්රවර ද වේ යි .
13. 1. 3.
වුට්ඨාන කුසල සූත්රය
664. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්ෂ වෙයි, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳවත් (ධ්යානාංඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්ෂ වෙයි, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහිත් නො ම දක්ෂ වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි (ධ්යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්ෂ වූයේත් සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්ෂ වූයේත් වේ.
මහණෙනි එහි යම් මේ ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්ෂ වූයේත්, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්ෂ වූයේත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්යාන කරන පුද්ගලයන්ගෙන් අග්ර ද ශ්රේෂ්ඨ ද ප්රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
13. 1. 4.
කල්ලිත කුසල සූත්රය
665. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්ෂ වෙයි, සමාධියෙහි ලා සමාධියට යෝග්ය කරන්නට දක්ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධියට යෝග්ය කරන්නට දක්ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්ෂ නො වේ.