1. 3. 2. 8.
සඤ්ඤොජනිය සූත්රය
120. සැවැත්නුවර:
මහණෙනි සංයෝජනිය (සංයෝජනයන්ට හිත වූ) ධර්ම ද සංයෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි සංයෝජනිය ධර්මයෝ කවරහු ද, සංයෝජන කවරහු ද යත්:
මහණෙනි, රූපය සංයෝජනිය දහමෙකි, එහි යම් ඡන්දරාගයෙක් වේ ද, එය එහි සංයෝජන ය යි. වේදනාව සංයෝජනිය දහමෙකි. එහි යම් ඡන්දරාගයෙක් වේ ද, එය එහි සංයෝජන ය යි. සංඥාව ... සංස්කාර ... විඥානය සංයෝජනිය දහමෙකි. එහි යම් ඡන්දරාගයෙක් වේ ද එය එහි සංයෝජන යි. මහණෙනි, මොහු සංයෝජනිය දහම්හු යයි කියනු ලැබෙත්. මේ (ඡන්දරාගය) සංයෝජන යි.
1. 3. 2. 9.
උපාදානිය සූත්රය
121. සැවැත්නුවර:
මහණෙනි, උපාදානිය (උපාදානයන්ට හිතවූ) දහම් ද උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි, උපාදානිය දහම්හු කවරහු ද, උපාදානය කවරේ ද යත්:
මහණෙනි, රූපය උපාදානිය දහමෙකි, එහි යම් ඡන්දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. වේදනාව උපාදානිය දහමෙකි. එහි යම් ඡන්දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. සඤ්ඤාව උපාදානිය දහමෙකි ... සංඛාර උපාදානිය දහමෙකි ... විඤ්ඤාණය උපාදානිය දහමෙකි. එහි යම් ඡන්දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. මහණෙනි, මොහු උපාදානිය දහම්හු ය යි කියනු ලැබෙත්. මේ (ඡන්දරාගය) උපාදාන යි.
1. 3. 2. 10.
සීල සූත්රය
122. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි ඉසිපතන නම් වූ මිගදායයෙහි වාස කෙරෙති. ඒ කල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි ශාරීපුත්රනි, සිල්වත් මහණහු විසින් කවර දහම්හු නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි.
ඇවැත්නි, කොට්ඨිතයෙනි, සිල්වත් මහණහු විසින් පඤ්චෝපාදානස්කන්ධයෝ අනිත්ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩ වශයෙන් හුල් වශයෙන් පීඩා වශයෙන් ආබාධ වශයෙන් මෙරමා වශයෙන් වැනසීම් වශයෙන් ශුන්ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු ය. කවර පස් කඳෙකැ යත්: එනම් – රූපෝපාදාන ස්කන්ධ යැ ... විඥානෝපාදානස්කන්ධ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි, සිල්වත් මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්ධයෝ අනිත්ය වශයෙන් ... දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු යි. ඇවැත්නි, සිල්වත් මහණ මේ පඤ්චෝපාදානස්කන්ධයන් අනිත්ය විසින් දුක් විසින් ... අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරනුයේ සෝවන්පල පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
ඇවැත්නි, ශාරිපුත්රයෙනි, සෝවන් මහණහු විසින් කවර දහම්හු නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි?
ඇවැත්නි, කොට්ඨිතයෙනි. සෝවන් මහණහු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්ධයෝ අනිත්ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු යැ. ඇවැත්නි, සෝවන් මහණ මේ පඤ්චෝපාදානස්කන්ධයන් අනිත්ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරනුයේ සෙදගැමි ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
ඇවැත්නි, ශාරිපුත්රයෙනි, සෙදගැමි මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි.
ඇවැත්නි, කොට්ඨිතයෙනි, සෙදගැමි මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්ධයෝ අනිත්ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහ. ඇවැත්නි, සෙදගැමි මහණ, මේ පඤ්චෝපාදානස්කන්ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරනුයේ අනගැමි ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.