1. 3. 2. 6.
පඨම පරිපුච්ඡිත සූත්‍රය
118. සැවැත්නුවර:
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දැකිවූ දැ යි. වහන්ස, තෙල නො වේ ම යැ. මහණෙනි, මැනැවි, මහණෙනි, රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ යැ. තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම”යි දකිවු දැ යි වහන්ස, තෙල නො වේ මැ යි. මහණෙනි, මැනවි. මහණෙනි, විඥානය “තෙල මාගේ නො වෙයි. තෙල මම නො වෙමි. තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්කයුතු.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රුපයෙහිත් කලකිරෙයි ... වේදනාවෙහිත් ... සංඥාවෙහිත් ... සංස්කාරයන්හිත් ... විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස කළයුතු අන්කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 2. 7.
දුතිය පරිපුච්ඡිත සූත්‍රය
119. සැවැත්නුවර:
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ ය”යි දකිවු දැ යි. වහන්ස එසේ යැ.
මහණෙනි, මැනවි, මහණෙනි, රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ යයි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්ක යුතු යැ. වේදනාව ... තෙල මාගේ නො වෙයි .... සඥාව තෙල මාගේ නො වෙයි ... සංස්කාර “තෙල මාගේ නො වෙයි ... විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි දකිවු දැ යි.
වහන්ස එසේ යි.

මහණෙනි, මැනැවි, මහණෙනි, විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපයෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 2. 8.
සඤ්ඤොජනිය සූත්‍රය
120. සැවැත්නුවර:
මහණෙනි සංයෝජනිය (සංයෝජනයන්ට හිත වූ) ධර්‍ම ද සංයෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි සංයෝජනිය ධර්‍මයෝ කවරහු ද, සංයෝජන කවරහු ද යත්:
මහණෙනි, රූපය සංයෝජනිය දහමෙකි, එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, එය එහි සංයෝජන ය යි. වේදනාව සංයෝජනිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, එය එහි සංයෝජන ය යි. සංඥාව ... සංස්කාර ... විඥානය සංයෝජනිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද එය එහි සංයෝජන යි. මහණෙනි, මොහු සංයෝජනිය දහම්හු යයි කියනු ලැබෙත්. මේ (ඡන්‍දරාගය) සංයෝජන යි.
1. 3. 2. 9.
උපාදානිය සූත්‍රය
121. සැවැත්නුවර:
මහණෙනි, උපාදානිය (උපාදානයන්ට හිතවූ) දහම් ද උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි, උපාදානිය දහම්හු කවරහු ද, උපාදානය කවරේ ද යත්:
මහණෙනි, රූපය උපාදානිය දහමෙකි, එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. වේදනාව උපාදානිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. සඤ්ඤාව උපාදානිය දහමෙකි ... සංඛාර උපාදානිය දහමෙකි ... විඤ්ඤාණය උපාදානිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. මහණෙනි, මොහු උපාදානිය දහම්හු ය යි කියනු ලැබෙත්. මේ (ඡන්‍දරාගය) උපාදාන යි.