8. 1. 4.
ඔක්ඛාසත සූත්‍රය
386. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් පෙරවරු මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් මද්දහනෙහි මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් සවස් කල මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් පෙරවරු යටත් පිරිසෙයින් ගෝදෝනා (දෙනගේ තනපුඬු එක් වරක් අදනා) කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, යමෙකුත් මද්දහනෙහි යටත් පිරිසෙයින් ගෝදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, යමෙක් සවස් වරු යටත් පිරිසෙයින් ගෝදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, මෙය ඒ දනට වඩා මහත්ඵල ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තාවේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යානයක් මෙන් කරණ ලද්දී වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
8. 1. 5.
සත්ති සූත්‍රය
387. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ තියුණු තල ඇති සිරියක් වේ ද, එකල්හි “මම තියුණු තල ඇති මේ සිරිය අතින් හෝ මිටෙන් හෝ පැහැර නමන්නෙමි. (ධාරා දෙක එක් කොට) අලවන්නෙමි. දිග හැර නැවත හකුළුවන්නෙමි” යි පුරුෂයෙක් එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, ඒ පුරුෂ තෙමේ තියුණු තල ඇති මේ සිරිය අතින් හෝ මිටෙන් හෝ නමන්නට අලවන්නට දිග හැර නැවත හකුළුවන්නට නිසි ද? වහන්ස, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින්ද? වහන්ස, තියුණු තල ඇති ඒ සිරිය අතින් හෝ මිටෙන් හෝ නමන්නට අලවන්නට දිග හැර නැවත හකුළුවන්නට සුකර නො වේ. ඒ පුරුෂ තෙමේ (ඒ සඳහා යම්තාක් වැර වඩා ද,) ඒ තාක් ම වෙහෙසීමට විඩාවට හිමියෙක් වන්නේ ය.
මහණෙනි, එහෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද ද, බහුල කරණ ලද ද, යානයක් මෙන් කරණ ලද ද, වාස්තුවක් මෙන් කරණ ලද ද, එළඹ සිටියක් කරණ ලද ද, පුරුදු කරණ ලද ද, මැනවින් පිරිපුන් කරණ ලද ද, ඉදින් අමනුෂ්‍යයෙක් ඔහුගේ සිත පෙරළිය යුතු ය යි හඟනේ නම් වැලි ඒ අමනුෂ්‍ය තෙමේ වෙහෙසීමට විඩාවට හිමියෙක් වන්නේ ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යානයක් මෙන් කරණ ලද්දී වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
8. 1. 6.
ධනුග්ගහ සූත්‍රය
388. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ දැඩි දුනු දරණ නිපුණ වූ කෘතහස්ත වූ දැක්වූ ධනුශ්ශිල්ප ඇති දුනුවායෝ සිවුදෙනෙක් සිවුදිග සිටියෝ ද, එකල්හි දැඩි දුනු ඇති නිපුණ වූ කෘතහස්ත වූ දැක් වූ ධනුශ්ශිල්ප ඇති මේ සිවු දුනුවායන් විසින් සිවුදිගට විදින ලද ඊතල පොළොවෙහි නො පිහිටියවුන්ම (පොළොව නොහෙන තෙක්ම) මම හැර ගෙණ එන්නෙමි”යි. පුරුෂයෙක් එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, “එසේ දිවිය හෙන්නා වූ මේ පුරුෂ තෙම උතුම් ජව ඇත්තේ ය යි - දිවිය හෙන්නේ ය යි කියන්නට සුදුසු දැ”යි:
වහන්ස, දැඩි දුනු දරණ උගත් පළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායකු විසිනුදු විදිනලද හීය පොළොව නො හෙන තෙක් ම ඉදින් හැර ගෙණ එන්නේ නම් එසේ දිවිය හෙන පුරුෂයා උතුම් ජව ඇත්තේ ය යි කියන්නට සුදුසු ය. දැඩි දුනු දරණ උගත් කළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායන් සිවුදෙනෙකුන් විදි හී ගැණ කවර කථා ද?