8. 1. 12.
දුතිය සිගාල සූත්‍රය
394. සැවැත්නුවර–
මහණෙනි, තෙපි රෑ පැසුළු යම හඬන සිවලෙකු හඬ අසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, ඒ ජරසිවලා කෙරෙහි ද යම් කිසි කළ ගුණ දන්නා බවෙක් කළ ගුණ ප්‍රකට කරණ බවෙක් වන්නේ ම ය. මෙහි ශක්‍යපුත්‍රිය භාවය පිළිණ කරණ ඇතැමකු කෙරෙහි කිසි ම කළ ගුණ දන්නා බවෙක්, කල ගුණ ප්‍රකට කරණ බවෙක් නො වන්නේ ම ය. (මේද දෙව්දත් සඳහා කියු සේ ය.)
එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුතු: “කළ ගුණ දන්නමෝ කළ ගුණ ප්‍රකට කොට දන්නමෝ වන්නෙමු. අප කෙරෙහි මඳකුදු කරණ ලද්ද නහමක් නැසේවා (සිතින් තොර නොවේවා)”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
පළමුවන වර්‍ගය යි.
එහි උද්දානය:
කූට, නඛසිඛා, කුල, ඔක්ඛා, සත්ති, ධනුග්ගහ, ආණි, කලිඞ්ගර, නාග, බිළාල සූත්‍ර ය, සිගාල සූත්‍ර දෙක දැ යි සූත්‍ර දොළසෙකි යි.
ඕපම්මසංයුත්තය නිමියේ යි.
9. භික්ඛු සංයුත්තය
1. ප්‍රථම වර්‍ගය
9. 1. 1.
මොග්ගල්ලාන සූත්‍රය
395. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
ඇවැත්නි, මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට “ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවය, ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවය යි කියනු ලැබේ. කිමෙක් නම් ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවය වේ දැ”යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
ඇවැත්නි, ඒ මට “මෙහි මහණ තෙමේ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ස්වසන්තානයෙහි පැහැදීම් ඇති සිතේ උතුම් එකඟබැව් වඩන විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසේ නම් මේ ආර්‍ය්‍ය වූ තූෂ්ණීම්භාවය ය යි කියනු ලැබේ”යි මේ සිත විය.
ඇවැත්නි, ඒ මම විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සියසතන්හි පැහැදීම ඇති සිතේ උතුම් එකඟ බැව් වඩන විතර්‍කරහිත විචාරරහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්වීතීයද්ධ්‍යානය උපදවා වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන මට විතර්‍ක සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත්. ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත වැඩ “මුගලන, මුගලන, බමුණ, ආර්‍ය්‍යතූෂ්ණීම්භාවය නො වරදව. ආර්‍ය්‍යතූෂ්ණීම්භාවයෙහි සිත එකඟ කරව. ආර්‍ය්‍යතූෂ්ණීම්භාවයෙහි සිත නගාලව යි” මෙය වදාළ සේක.
ඇවැත්නි, ඒ මම අන් කලෙක විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම ඇති සිතේ එකඟබැව් වඩන විතර්‍කරහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානය උපදවා විසීමි. ඇවැත්නි, සත්‍යය කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුගෘහීත වූ ශ්‍රාවකයෙක් ෂඩභිඥා ඇති බවට පැමිණියේ ය” යි යමකු සඳහා කියන්නෙ නම්, සත්‍යය කියන්නා “ශාස්තෲන් වහන්සේ විසින් අනුගෘහීත වූ ශ්‍රාවකයෙක් ෂඩභිඥා ඇති බවට පැමිණියේ ය” යි මා සඳහා කියන්නේ යි.