5. 3. 9.
වාලරජ්ජු සූත්‍රය
325. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.
මහණෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් දළ අස්කෙඳි රැහැණෙකින් කෙණ්ඩය වෙළා ගටන්නේ ද, එය සිවිය සිඳිනේ ය. සිවිය සිඳ සම සිඳිනේ ය. සම සිඳ මස් සිඳිනේ ය. මස් සිඳ නහර සිඳිනේ ය. නහර සිඳ ඇට සිඳිනේ ය. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටින්නේ ය. මහණෙනි, එසෙයින් ම ලාභසත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 3. 10.
ඛිණාසව භික්ඛු සූත්‍රය
326. සැවැත්නුවර–
මහණෙනි, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ යම් ඒ මහණෙක් වේ නම්, ඔහුට ද ලාභසත්කාර කීර්තිප්‍රශංසා අන්තරාය පිණිස වේ ය යි මම කියමි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, රහත් මහණහුට කුමක් සඳහා ලාභසත්කාර කීර්තිප්‍රශංසා අන්තරාය පිණිස වේ දැ”යි මෙය සැළකෙළේ ය.
ආනන්‍ද, ඔහුගේ යම් ඒ අකෝප්‍ය වූ චිත්තවිමුක්තියෙක් වේ ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා එයට අන්තරාය පිණිස වේ ය යි මම නො කියමි. ආනන්‍ද, නො පමා ව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසනහු විසින් ලබන ලද යම් දිටුදැමි පලසමවත් සුව විහරණයෝ වෙද්ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා ඔවුනට අන්තරාය (බාධා) පිණිස වන්නේ ය යි මම කියමි.
ආනන්‍ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණුය, තියුණු ය, රළු ය, නිරුත්තර වූ අර්‍හත්‍වාවබෝධයට අන්තරායකර ය. ආනන්‍ද, එසේ හෙයින් මෙහි මෙසේ හික්මිය යුතු යි: උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂය කොට නො ම සිටුනේ ය යි. ආනන්‍ද, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
මාතුගාම වර්‍ගය තෙවෙනි යි.
එහි උද්දානය:
මාතුගාම, කල්‍යාණි, ඒකපුත්ත, ඒකධිතු සූත්‍ර ද, සමණබ්‍රාහ්මණ සූත්‍ර තුණ ද, ඡවි, රජ්ජු, භික්ඛු සූත්‍ර දැ යි සූත්‍ර දශයෙකි.
4. සඞ්ඝභේද වර්‍ගය
5. 4. 1.
සඞ්ඝභේද සූත්‍රය
327. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මැඩුණු ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇති දෙව්දත් තෙමේ සඞ්ඝයා බින්දේ ය. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 2.
කුසලමූලසමුච්ඡේද සූත්‍රය
428. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභ-සත්කාරකීර්තිප්‍රශංසායෙන් මැඬුනු ගන්නා ලද සිත් ඇති දෙව්දත්ගේ කුසල්මුල් සහමුලින් සිඳීමට ගියේ ය. මහණෙනි, ලාභ-සත්කාරකීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 3.
කුසලධම්මසමුච්ඡේද සූත්‍රය
429. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභසත්කාරකීර්තිප්‍රශංසායෙන් මැඬුනු ගන්නා ලදසිත් ඇති දෙව්දත්ගේ කුසල්දහම් සහමුලින් ඡේදයට ගියේ ය. මහණෙනි, ලාභසත්කාරකීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 4.
සුක්කධම්මසමුච්ඡේද සූත්‍රය
430. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් මඬනා ලද නිශ්ශේෂයෙන් ගන්නා ලද සිත් ඇති දෙව්දත්ගේ ශෝභන ධර්‍මය සහමුලින් ඡේදයට ගියේ ය. මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන්ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 5.
අත්තවධ සූත්‍රය
331. භාග්‍යවතුන් වහන්සේ එක්සමයෙක දෙව්දත් බැහැර ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් ඇරබ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තමාගේ ම විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. පිරිහීම පිණිස දෙව්දත්හට ලාභසත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.