3. 1. 5.
පබ්බත සූත්‍රය
268. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: “වහන්ස, කල්පය කෙතෙක් දිගු දෝ” යි.
මහණ, කල්පය දිග ය. එය මෙතෙක් වසැයි හෝ මෙතෙක් වස් සියයෙකැ යි හෝ මෙතෙක් වස් දහසෙකැ යි හෝ මෙතෙක් වස් සියදහසෙකැ යි හෝ ගිණීමට සුකර නො වේ. වහන්ස, උපමාවක් කරනට හැකි ද? මහණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම් සේ අයමින් යොදුනක් වූ, විතරින් යොදුනක් වූ උසින් යොදුනක් වු සිදුරු රහිත විවර රහිත ගතබොල් මහසෙල් මුවා පව්වෙක් වේ ද, එය පුරුෂයෙක් සියවසක් සියවසක් ඇවෑමෙන් කසීසළුවෙකින් වරින්වර පිරිමදනේ ද, මහණ, මේ උපක්‍රමයෙන් ඒ මහසෙල් මුවා පව්ව වහා ගෙවීමට අවසන් වීමට යන්නේ ය. කල්පය (එතෙක්) අවසනට නො යන්නේ ය.
මහණ, මෙසේ කල්පය දීර්‍ඝ ය. මහණ, මෙසේ දීර්‍ඝ වූ කල්පයන් අතුරෙන් ස්‍රස්රස්තවූයේ - ගෙවීගියේ එක්කපෙක් නො වෙයි. ගෙවීගියේ කප්සියෙක් නො වෙයි. ගෙවීගියේ කප්දහසෙක් නො වෙයි ගෙවීගියේ කප්සියදහසෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණ, මෙසසර අනවරාග්‍ර වෙයි ... (එයින්) මිදෙන්නට නිසි මැ යි.
3. 1. 6.
සාසප සූත්‍රය
269. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළබියේය ... එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: වහන්ස, “කල්පය කෙතෙක් දිග ද?
මහණ, කල්පය දිගය. එය මෙතෙක් වසැ යි හෝ … මෙතෙක් වස් සියදහසැයි හෝ ගණනට සුකර නොවේ වහන්ස, උපමාවක් කරනට හැකි ද? මහණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම් සේ දිගින් යොදුනක් වූ පුළුලින් යොදුනක් වූ උසින් යොදුනක් වූ අබැටින් සිළු බැද පිරුණු යපවුරෙන් පිරිකෙවු නුවරෙක් වේද, පුරුෂයෙක් සියවස් සියවස් ඇවෑමෙන් එයින් එක් එක් අබැටක් උදුරන්නේද, මහණ, ඒ මහත් අබැටරැස මේ උපක්‍රමයෙන් ඉතා වහා ගෙවීමට නිමාවට යන්නේ ය. කල්පය(එසේ ගෙවීමට) නො ම යන්නේ ය.
මහණ, මෙසේ කල්පය දිගය. මහණ, මෙසේ දික් වූ කල්පයන් අතුරෙන් ගෙවුනේ එක් කපෙක් නො වෙයි. ගෙවුනේ කප්සියෙක් නො වෙයි. ගෙවුනේ කප් දහසෙක් නො වෙයි. ගෙවුනේ කප් සියදහසෙක් නොවේ. ඒ කවර හෙයින යත්: මහණ, මෙසසර අනවරාග්‍රය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
3. 1. 7.
සාවක සූත්‍රය
270. සැවැත්නුවර–
එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ද, ඉක්මුනා ද”
මහණෙනි, අතීත වූ කල්පයෝ බොහෝ ය. මෙතෙක් කපැ යි හෝ මෙතෙක් කප් සියෙකැ යි හෝ මෙතෙක් කප්දහසැ යි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ එය ගිණුමට සුකර නො වෙයි වහන්ස, උපමාවක් කරනට හැකි දැයි? මහාණෙනි, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණෙනි, මෙහි සියවස් ආයු ඇති සියවස් ජීවත් වන සුලු සව්වෝ සිවුදෙනෙක් වෙත් නම්, ඔහුත් දිනපතා කප් සියදහසක් කප් සියදහසක් සිහි කෙරෙත් නම්, මහණෙනි, ඔවුන් විසින් කල්පයෝ සිහි නො කළහු ම වෙත්. වැලි දු සියවස් ආයු ඇති සියවස් ජීවත්වන සුලු ඒ සිවුසව්වෝ සියවස් සියවස්හුගේ ඇවෑමෙන් කලුරිය කරන්නාහු ය.
මහණෙනි, මෙසේ ගෙවී ගියා වූ ඉක්ම ගියා වූ කල්පයෝ බොහෝ ය. ඔහු මෙතෙක් කපැ යි හෝ, මෙතෙක් කප් සියෙකැයි හෝ, මෙතෙක් කප් දහසැයි හෝ, මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සුකර නො වෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර අපරිමාණ ය … එයින් මිදෙන්නට නිසි මැ යි.