3. 1. 3.
අස්සු සූත්රය
266. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අවිච්ඡින්න වූ පශ්චිම සීමා ඇතියේ යි. එහෙයින් අවිද්යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) ධාවත් සංසරත් සත්වයන්ගේ පූර්වසීමා නො පෙණේ. මහණෙනි, තොප විසින් දිගුකලක් දුක් විඳින ලදී. ඒ කිමැ යි හඟිවු ද, මේ දිගුකල දිවෙන සැරිසරණ, අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන තොපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වේද, සිවුමහසමුදුරෙහි යම් ජලයෙක් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි?
වහන්ස, අපි භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය යම් සේ දනිමු නම්, මේ දිගුකල දිවෙත්. දිවෙන සැරිසරණ, අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන අපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වී ද, වහන්ස, මෙය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය.
මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි මා විසින් දේශනා කරණ ලද ධර්මය මෙසේ දනිවු නම් මැනවි. මහණෙනි, මේ දිගුකල දිවෙන සැරිසරණ අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන වැලපෙන තොපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වී නම් මෙය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, තොප විසින් දිගුකලක් මවු මළ දුක විඳිනලදී. මහණෙනි, මවු මළ දුක විඳින අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන ඒ තොපගේ වෑහුණු වැගුරුණු යම් කඳුලෙක් වී නම් එය ඉබොහෝමය. සිවුමහසමුදුරෙහි දිය නොබොහෝමය. මහණෙනි, තොප විසින් දිගුකලක් පියා මළ දුක විඳින ලදි ... බෑයා මළ දුක විඳින ලදි ... බුහුන මළ දුක විඳින ලදි ... පුතු මළ දුක විඳින ලදි ... දූ මළ දුක විඳින ලදි ... ඥාතිව්යසන විඳින ලදි ... භෝගව්යසන විඳින ලදි ... රෝගව්යසන විඳින ලදි … රෝගව්යසනය විඳින්නා වූ අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන ඒ තොපගේ වෑහුනු වැගුරුණු කඳුලු ඉතා වැඩි ය. සිවුමහසයුරෙහි දිය නො ම වැඩි ය. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ සසර නො පිරිසුන් කෙළවර ඇතියේ ය ... මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.
3. 1. 4.
මාතුථඤ්ඤ සූත්රය
267. සැවැත්නුවර–
මහණෙනි, මෙ සසර නො පිරිසුන් අග ඇතියේ ය, අවිද්යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ මුල් කෙළවර නො පෙණේ. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? මේ දිගුකල දිවෙන සැරිසරණ තොප විසින් (එක්නම් ඇති මිනිස්) මවකගේ යම් කිරක් පූ ද, සිවුමහ සමුදුරෙහි යම් ජලයෙක් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි ද?
වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය අපි යම් සේ දනිමු නම්, මේ දිගුකල් දිවෙන සැරිසරණ අප විසින් යම් මව් කිරෙක් බොන ලද ද, වහන්ස, මෙය ම ඉතා වැඩිය. සිවු මහ සමුදුරෙහි දිය නො වැඩිය.
මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, මා විසින් දේශනා කරණ ලද ධර්මය තෙපි මෙසේ දනිවු නම් මැනවි. මහණෙනි, මේ දිගුකල් දිවෙන සැරිසරණ තොප විසින් යම් මවුකිරෙක් පූ නම්, එය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි දිය නො වැඩි ය. ඒ කුම් හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද කෙළවර ඇතියේ ය ... මිදෙන්නට සුදුසුමැ යි.
3. 1. 5.
පබ්බත සූත්රය
268. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: “වහන්ස, කල්පය කෙතෙක් දිගු දෝ” යි.
මහණ, කල්පය දිග ය. එය මෙතෙක් වසැයි හෝ මෙතෙක් වස් සියයෙකැ යි හෝ මෙතෙක් වස් දහසෙකැ යි හෝ මෙතෙක් වස් සියදහසෙකැ යි හෝ ගිණීමට සුකර නො වේ. වහන්ස, උපමාවක් කරනට හැකි ද? මහණ, හැකි ය යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම් සේ අයමින් යොදුනක් වූ, විතරින් යොදුනක් වූ උසින් යොදුනක් වු සිදුරු රහිත විවර රහිත ගතබොල් මහසෙල් මුවා පව්වෙක් වේ ද, එය පුරුෂයෙක් සියවසක් සියවසක් ඇවෑමෙන් කසීසළුවෙකින් වරින්වර පිරිමදනේ ද, මහණ, මේ උපක්රමයෙන් ඒ මහසෙල් මුවා පව්ව වහා ගෙවීමට අවසන් වීමට යන්නේ ය. කල්පය (එතෙක්) අවසනට නො යන්නේ ය.
මහණ, මෙසේ කල්පය දීර්ඝ ය. මහණ, මෙසේ දීර්ඝ වූ කල්පයන් අතුරෙන් ස්රස්රස්තවූයේ - ගෙවීගියේ එක්කපෙක් නො වෙයි. ගෙවීගියේ කප්සියෙක් නො වෙයි. ගෙවීගියේ කප්දහසෙක් නො වෙයි ගෙවීගියේ කප්සියදහසෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණ, මෙසසර අනවරාග්ර වෙයි ... (එයින්) මිදෙන්නට නිසි මැ යි.