3. 1. 10.
ඒකපුග්ගල සූත්රය
273. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එහි දි … මෙය වදාළ සේක.
මහණෙනි, මෙසසර නැවත නැවත බලයි දු නොපිරිසුන් කෙළවර ඇතියේ යි. මහණෙනි, කපක් මුළුල්ලේ දිවෙන සැරිසරණ එක් පුඟුලකුගේ ඇටසැකිල්ල ඇටගොඩ ඇටරැස ඉදින් රැස් කරන්නෙක් වන්නේ නම්, රැස් කරණ ලදුයේත් නො වැනසේ නම්, මේ වේපුල්ල පර්වතය යම් සේ ද, එසේ මහත් වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද කෙළවර ඇතියේ ය. … එයින් මිදෙන්නට නිසි මැ යි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යලි මතුදු මෙය වදාළ සේක:
එක් කපෙකින් එක් පුඟුලකුගේ ඇට රැස (වේපුල්ල) පර්වතය බඳු රැසෙක් වන්නේ ය යි මහර්ෂි වූ බුදුරජානන් වහන්සේ විසින් වදාරණ ලදි.
ඒ මේ මහත් වේපුල්ල පර්වතය මගධජනපදයෙහි ගිරිව්රජයෙහි (පර්වත පරික්ෂේපයෙහි) ගිජුකුළු පව්වට උතූරුදික්හි (පිහිටියේ) ය යි කියන ලදී.
යම් කලෙක දුක, දුක හට ගැණීම, දුක ඉක්මීම, දුක ඉක්මීමට යන අරිඅටගිමග යන ආර්ය්ය සත්යයන් මනා නුවණින් දකී ද,
ඒ (සෝවන්) පුද්ගල තෙමේ සත්වරක් පරම කොට සැරිසරා සියලු සංයෝජනයන් ක්ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නෙක් වේ යි.
තිණකට්ඨවර්ගය පළමුවැ නි යි.
එහි උද්දානය:
තිණකට්ඨ, පඨවි, අස්සු, බීර, පබ්බත, සාසප, සාවක, ගඞ්ගා, දණ්ඩ, පුග්ගල ය යි සූත්ර දශයෙකි යි.
2. දුග්ගත වර්ගය
3. 2. 1.
දුග්ගත සූත්රය
274. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එහි දි … මෙය වදාළ සේක:
“මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය. අවිද්යානීවරණයෙන් වැසුනු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ පූකෙළ (පූර්වාන්තය) නො පෙණේ. මහණෙනි, දිළිඳු වූ විරූප වූ යමකු දක්නහු නම්, මෙහි දී “අප විසිනු දු මේ දීර්ඝකාලයෙහි මෙබඳුවක් විඳින ලදැ”යි නිමාවට (නිශ්චයට) යා යුතු යි. එ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ යි … මෙයිනුදු … මිදෙන්නට නිසි මැ යි.
3. 2. 2.
සුඛිත සූත්රය
275. සැවැත්නුවර–
මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය … මහණෙනි, සුවපත් අලඞ්කාරයෙන් සැදුනු යමකු දක්නහු නම්, මෙහි දී “මේ දිගුකල අප විසිනුදු මෙබඳුවක් විදින ලද” යි නිමාවට යා යුතු යි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය ... මෙයිනුදු මිදෙන්නට නිසි මැ යි.
3. 2. 3.
තිංසමත්ත සූත්රය
276 රජගහනුවර–
එකල්හි සියල්ලෝ ම ආරණ්යක වූ පිණ්ඩපාතික වූ පාංශුකූලික වූ තෙචීවරික වූ, සියල්ලෝ ම සංයෝජන සහිත වූ, පාවානුවර වැසි තිස්නමක් පමණ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ ගත්හ.
එකල්හි භාග්යවතුන් වහන්සේට “පාවානුවර වැසි මේ තිස්නමක් පමණ වූ භික්ෂූහු සියල්ලෝ ම ආරණ්යකහ. පිණ්ඩපාතිකහ. පාංශුකූලිකහ. තෙචීවරිකහ. සියල්ලෝ ම සංයෝජන සහිතහ. ඉදින්, මේ අසුන්හි දී ම ඔවුන්ගේ සිත් උපාදාන රහිත ව ආස්රවයන්ගෙන් යම් සේ මිදේ නම් එසේ මම මොවුනට දහම් දෙසන්නේ නම් මැනැවැ”යි මේ සිත විය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, මෙසසර අවිදිතාග්ර ඇතියේ ය. අවිද්යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්වයන්ගේ පූර්වකෝටිය නො පෙණේ. මහණෙනි, ඒ කිමැයි හගිවු ද, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස් සුන් තොපගේ වෑහුනු වැගිරුණු යම් පමණ ලෙයෙක් වේ ද, සිවුමහසමුදුරෙහි යම් පමණ ජලයෙක් වේද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි?