3. 1. 1.
තිණකට්ඨ සූත්රය
264. සැවැත්නුවර -
මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’ යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’ යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මේ සසර අනුව ගොසිනුදු නොපිරිසුන් අග ඇති. එහෙයින් අවිද්යානීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ පූර්වකෝටිය (පූර්වාන්තය) නො පැණේ. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව යම් තාක් තණ දඬු අතු කොළ වේ නම්, එය සිඳ එක් රැස් කරන්නේ ද, එක් රැස් කොට සතරගුල් සතරගුල් කඩ කොට “මෝ මාගේ මව ය, මෝ මාගේ ඒ මවගේ මව ය” යි තබන්නේද, මහණෙනි, ඒ පුරුෂයාගේ මවගේ මවුහු නො පිරිසිඳුනාහු ම වන්නාහ. වැලි, මේ දඹදිව තණ දඬු අතු කොළ ක්ෂය වීමට අවසන් වීමට යන්නේය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සසර අනවරාග්ර (අපරාන්ත රහිත) ය. එහෙයින් අවිද්යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) දිවෙන සැරිසරණ සත්වයන්ගේ පූර්වාන්තය නො පෙණේ.
මහණෙනි, මෙසේ තොප විසින් දිඟුකලක් දුක්විඳින ලදී. තියුණු දුක් විඳින ලදී, (ඥාතිව්යසනාදි) ව්යසන විඳින ලදී. සොහොන නොහොත් පොළොව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.
3. 1. 2.
පඨවී සූත්රය
265. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අමතවූ - නොදත් අග් ඇතියේයි. අවිද්යා නීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ මුල නො පැණේ. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මේ මහපොළොව ඩෙබර ඇට පමණ ඩෙබර ඇට පමණ ගුළි කොට “මේ මගේ පියා ය, මේ මගේ ඒ පියාගේ පියා ය” යි තබන්නේ ද, මහණෙනි, ඒ පුරුෂයාගේ පියාගේ පියහු නො පිරිසිදින ලද්දාහු ම වන්නාහ වැලි, මේ මහපොළොව ගෙවීමට අවසන් වීමට යන්නේය. ඒ කුම් හෙයින? යත්: මහණෙනි, මේ සසර අවිදිත වූ අග ඇතියේ යි. අවිද්යා නීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ මුල නො පෙණේ. (එහෙයිනි.)
මහණෙනි, මෙසේ තොප විසින් දිගුකලක් ම දුක් විඳින ලදී, තියුණු දුක් විඳින ලදි, ව්යසන විඳින ලදී, සොහොන හෝ පොළොව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.
3. 1. 3.
අස්සු සූත්රය
266. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අවිච්ඡින්න වූ පශ්චිම සීමා ඇතියේ යි. එහෙයින් අවිද්යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) ධාවත් සංසරත් සත්වයන්ගේ පූර්වසීමා නො පෙණේ. මහණෙනි, තොප විසින් දිගුකලක් දුක් විඳින ලදී. ඒ කිමැ යි හඟිවු ද, මේ දිගුකල දිවෙන සැරිසරණ, අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන තොපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වේද, සිවුමහසමුදුරෙහි යම් ජලයෙක් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි?
වහන්ස, අපි භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය යම් සේ දනිමු නම්, මේ දිගුකල දිවෙත්. දිවෙන සැරිසරණ, අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන අපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වී ද, වහන්ස, මෙය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය.
මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි මා විසින් දේශනා කරණ ලද ධර්මය මෙසේ දනිවු නම් මැනවි. මහණෙනි, මේ දිගුකල දිවෙන සැරිසරණ අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන වැලපෙන තොපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වී නම් මෙය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, තොප විසින් දිගුකලක් මවු මළ දුක විඳිනලදී. මහණෙනි, මවු මළ දුක විඳින අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන ඒ තොපගේ වෑහුණු වැගුරුණු යම් කඳුලෙක් වී නම් එය ඉබොහෝමය. සිවුමහසමුදුරෙහි දිය නොබොහෝමය. මහණෙනි, තොප විසින් දිගුකලක් පියා මළ දුක විඳින ලදි ... බෑයා මළ දුක විඳින ලදි ... බුහුන මළ දුක විඳින ලදි ... පුතු මළ දුක විඳින ලදි ... දූ මළ දුක විඳින ලදි ... ඥාතිව්යසන විඳින ලදි ... භෝගව්යසන විඳින ලදි ... රෝගව්යසන විඳින ලදි … රෝගව්යසනය විඳින්නා වූ අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන ඒ තොපගේ වෑහුනු වැගුරුණු කඳුලු ඉතා වැඩි ය. සිවුමහසයුරෙහි දිය නො ම වැඩි ය. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ සසර නො පිරිසුන් කෙළවර ඇතියේ ය ... මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.