7. 2. 8.
කට්ඨහාර සූත්රය
204. එක්කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩවසන සේක.
එකල්හි එක්තරා භාරද්වාජගෝත්ර බමුණකුගේ අතැවැසි වූ දර ගෙණෙන බොහෝ මාණවකයෝ ඒ වනලැහැබ වෙත එළඹියහ. එළඹ ඒ වනලැහැබෙහි පලක් බැඳ උඩුකය කෙළින් තබා අභිමුඛ කොට සිහි එළවා වැඩහුන් භාග්යවතුන් වහන්සේ දුටුහ. දැක භාරද්වාජගෝත්ර බමුණා වෙත එළඹියහ. එළඹ භාරද්වාජගෝත්ර බමුණාහට “භවත් තෙමේ දන්නේ ද? අසවල් වනලැහැබෙහි මහණෙක් පලක් බැඳ උඩුකය කෙළින් තබා සිහිය අභිමුඛ කොට එළවා හුන්නේ ය”යි මෙය කීහ.
ඉක්බිති භාරද්වාජගෝත්ර බමුණු ඒ මණෙවුන් සමග ඒ වනලැහැබ වෙත එළඹියේ ය. එළඹ ඒ වනලැහැබෙහි පලක් බැඳ උඩුකය කෙළින් තබා අභිමුඛ කොට සිහි එළවා වැඩහුන් භාග්යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කීය;
ශ්රමණයෙනි, හිස් වූ, ජනයාගෙන් තොර වූ, අරණ්යයට පිවිස ගැඹුරු ස්වභාවය ඇති බොහෝ සෙයින් බිය එළවන මේ වෙනෙහි නොසැලෙන ස්ථිර වූ මනහර සිරුරෙන් යුක්ත ව ඒකාන්තයෙන් සොඳුරු ස්වභාවය ඇති ධ්යාන කෙරෙහි.
යම් තැනෙක ගී ගැයුම් නැද්ද, යම් තැනෙක වැයුමෙකුත් නැද්ද, (එබඳු වූ මේ) වෙනෙහි සර්වඥමුනි තෙමේ හුදෙකලා ව වනසෙනසුන් ඇසුරු කෙළේ ය. යම් හෙයෙකින් එකලා ව ම තුටුසිත් ඇති ව වෙනෙහි වෙසෙන්නේ ද, (එහෙයින්) මෙකරුණ පුදුමයක් සේ මට වැටහෙයි.
ලෝකාධිපති බ්රහ්මයා හා සහභාවය වූ නිරුත්තර බඹලොව පතමින් (වෙනෙහි වෙසෙයි යයි) මම හඟිමි. (නැතහොත්) භවත් කුමක් හෙයින් ජනයා කෙරෙන් තොර වූ වනය ඇසුරු කළේ ද? බ්රහ්මලෝකෝත්පත්තිය පිණිස මෙහි තපස් කෙරෙහි ද?
[භගවත්හු:]
යම්කිසි අභිනන්දනස්වරූප තෘෂ්ණායෙක් හෝ අනේකස්වාභාවාලම්බණයන්හි වූ නිරතුරු ඇසුරු කළ නානාප්රකාර සෙසු කෙලෙස් හෝ ඇද්ද, අවිද්යාව මූලප්රභාවය කොට ඇති අවිධ්යාමූල සහිත වූ ඒ සියලු තෘෂ්ණාවෝ මා විසින් නසන ලදහ.
බමුණ, ඒ මම තෘෂ්ණා රහිත වූයෙම් තෘෂ්ණාව ඇසුරු නො කෙළෙම් උපගමන රහිත වූයෙම් සියලු ධර්මයන්හි විශුද්ධිදර්ශන ඇත්තෙම් වෙමි. ඒ මම නිරුත්තර වූ ශ්රේෂ්ඨ වූ සම්බෝධියට පැමිණ විශාරද ව රහසිගතව ධ්යාන කෙරෙමි.
මෙසේ වදාළ කල්හි භාරද්වාජගෝත්ර බමුණු තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.
7. 2. 9.
මාතුපෝසක සූත්රය
205. සැවැත්නුවර–
එකල්හි මාතුපෝසක බමුණු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මාතුපෝසක බමුණු භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. භවත් ගෞතමයෙනි, මම වනාහි දැහැමින් භික්ෂාව සොයමි. දැහැමින් භික්ෂාව සොයා මවුපියන් පුසිමි. භවත් ගෞතමයෙනි, කිම? මම මෙසේ කරන්නෙම් කිස කරන්නෙකිම් වෙම් ද?
[භගවත්හු:]
බමුණ, මෙසේ කරණ තෝ ඒකාන්තයෙන් කිස කරන්නෙහි. බමුණ, යමෙක් දැහැමින් භික්ෂාව සොයා ද, දැහැමින් භික්ෂාව සොයා මවුපියන් පුසී ද, හෙ තෙමේ බොහෝ පින් රැස් කෙරෙයි.
යම් මිනිසෙක් මවත් පියාත් දැහැමින් පුසී ද, මවුපියන් කෙරෙහි වූ ඒ මෙහෙ කිරීම හේතු කොට ගෙණ පණ්ඩිතයෝ මේ ලොව්හි ම පසසත්. පරලොව ස්වර්ගයෙහි සතුටු වෙයි.
මෙසේ වදාළ ලක්හි මාතුපෝසක බමුණු තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.