7. 2. 6.
පච්චනීක සූත්රය
202. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි පච්චනීකසාත නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති පච්චනීකසාත බමුණාහට “මම මහණ ගොයුම් වෙත එළඹෙන්නෙම් නම් මැනවි. මහණ ගොයුම් යමක් යමක් ම කියන්නේ ද, මම ඔහුගේ ඒ ඒ වදනට ම විරුද්ධ වන්නෙමි”යි මේ අදහස විය.
එකල්හි භාග්යවතුන් වහන්සේ අබවස සක්මන් කරණ සේක. එවිට පච්චනීකසාත බ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ සක්මන් කරණ භාග්යවතුන් වහන්සේ අනුව සක්මන් කරමින් භාග්යවතුන් වහන්සේට “ශ්රමණයෙනි දහම් දෙසනු මැනවැ”යි මෙය කීය.
[භගවත්හු:]
පච්චනීකසාත වූ කිලිටිසිත් ඇති කරණුත්තරියකරණය බහුල කොට ඇති පුද්ගලයා විසින් සුබැසි දහම මොනවට නො දතහැක්කේ ය.
යමෙක් සිතේ අප්රසාදය ද බද්ධවෛරය ද දුරු කොට සාරම්භය බැහැර කොට (සිටියේ ද ) හෙ තෙමේ ඒකාන්තයෙන් සුබැසි දහම දැන ගන්නේ ය.
මෙසේ වදාළ කල්හි පච්චනීකසාත බමුණු තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා!
7. 2. 7.
නවකම්මික සූත්රය
203. එක්කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩවසන සේක.
එකල්හි නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ ඒ වනලැහැබෙහි කර්මාන්ත කරවයි. නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ එක්තරා සල්රුකක්මුල උඩුකය කෙළින් තබා (කමටහනට) අභිමුඛ කොට සිහි එළවා පලක් බැඳ වැඩහුන් භාග්යවතුන් වහන්සේ දැක්කේ ය. දැක ඔහුට “මම වනාහි කර්මාන්ත කරවමින් මේ වනලැහැබෙහි සිත් අලවමි. මේ මහණගොයුම් තෙමේ කුමක් කරවමින් සිත් අලවා දැ”යි මේ අදහස වි ය.
ඉක්බිති නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මහණ, ඔබවහන්සේ විසින් මේ සල්වෙනෙහි කිනම් කර්මාන්තයෝ කරණු ලැබෙද්ද? ගෞතමයෙනි, යම් හෙයකින් මේ වෙනෙහි හුදෙකලා ව ඇල්ම විඳිහි ද? (එහෙයින්) මෙසේ විචාරමි.
මට මේ වෙනෙහි කටයුත්තෙක් නැත. මාගේ කෙලෙස්වනය මුලුසුන් කරණ ලද්දේ ය. පහව ගිය (කෙලෙස්) කටු ඇත්තේ ය. ඒ මම නික්ලේශී ව පහ ව ගිය (රාගාදී) හුල ඇති ව (ප්රාන්තසෙනසුන්හි හා භාවනාවෙහි) නොඇල්ම වෙසෙසින් පහ කොට මේ වෙනෙහි එකලාව සිත් අලවා වෙසෙමි.
මෙසේ වදාළ කල්හි නවකම්මිකභාරද්වාජ බමුණු භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.
7. 2. 8.
කට්ඨහාර සූත්රය
204. එක්කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩවසන සේක.
එකල්හි එක්තරා භාරද්වාජගෝත්ර බමුණකුගේ අතැවැසි වූ දර ගෙණෙන බොහෝ මාණවකයෝ ඒ වනලැහැබ වෙත එළඹියහ. එළඹ ඒ වනලැහැබෙහි පලක් බැඳ උඩුකය කෙළින් තබා අභිමුඛ කොට සිහි එළවා වැඩහුන් භාග්යවතුන් වහන්සේ දුටුහ. දැක භාරද්වාජගෝත්ර බමුණා වෙත එළඹියහ. එළඹ භාරද්වාජගෝත්ර බමුණාහට “භවත් තෙමේ දන්නේ ද? අසවල් වනලැහැබෙහි මහණෙක් පලක් බැඳ උඩුකය කෙළින් තබා සිහිය අභිමුඛ කොට එළවා හුන්නේ ය”යි මෙය කීහ.
ඉක්බිති භාරද්වාජගෝත්ර බමුණු ඒ මණෙවුන් සමග ඒ වනලැහැබ වෙත එළඹියේ ය. එළඹ ඒ වනලැහැබෙහි පලක් බැඳ උඩුකය කෙළින් තබා අභිමුඛ කොට සිහි එළවා වැඩහුන් භාග්යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කීය;
ශ්රමණයෙනි, හිස් වූ, ජනයාගෙන් තොර වූ, අරණ්යයට පිවිස ගැඹුරු ස්වභාවය ඇති බොහෝ සෙයින් බිය එළවන මේ වෙනෙහි නොසැලෙන ස්ථිර වූ මනහර සිරුරෙන් යුක්ත ව ඒකාන්තයෙන් සොඳුරු ස්වභාවය ඇති ධ්යාන කෙරෙහි.
යම් තැනෙක ගී ගැයුම් නැද්ද, යම් තැනෙක වැයුමෙකුත් නැද්ද, (එබඳු වූ මේ) වෙනෙහි සර්වඥමුනි තෙමේ හුදෙකලා ව වනසෙනසුන් ඇසුරු කෙළේ ය. යම් හෙයෙකින් එකලා ව ම තුටුසිත් ඇති ව වෙනෙහි වෙසෙන්නේ ද, (එහෙයින්) මෙකරුණ පුදුමයක් සේ මට වැටහෙයි.
ලෝකාධිපති බ්රහ්මයා හා සහභාවය වූ නිරුත්තර බඹලොව පතමින් (වෙනෙහි වෙසෙයි යයි) මම හඟිමි. (නැතහොත්) භවත් කුමක් හෙයින් ජනයා කෙරෙන් තොර වූ වනය ඇසුරු කළේ ද? බ්රහ්මලෝකෝත්පත්තිය පිණිස මෙහි තපස් කෙරෙහි ද?