7. 2. 10.
භික්ඛක සූත්රය
206. සැවැත්නුවර–
එකල්හි භික්ඛක බමුණු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් භික්ඛක බමුණු භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. භවත් ගෞතමයෙනි, මමත් භික්ෂකයෙක්මි. භවත් තෙමේත් භික්ෂකයෙකි. මෙහි ලා අප දෙදෙනාගේ කිනම් වෙනසෙක් ද?
[භාගවතුහු:]
මෙරමා සිඟා යන මෙතෙක් වේ ද, එපමණෙකින් භික්ෂකයෙක් නො වේ. දුර්ගන්ධය වූ අකුශලධර්මය සමාදන් ව (සිටියේ) ඒ තාක් භික්ෂු නම් නො වේ.
මේ සස්නෙහි යමෙක් පින ද පව ද බැහැර කොට වුසූ බඹසර ඇත්තේ නුවණින් දැන ලොව්හි හැසිරේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් භික්ෂු යයි කියනු ලැබේ.
මෙසේ වදාළ කල්හි භික්ෂක බමුණු භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.
7. 2. 11.
සඞ්ගාරව සූත්රය
207. සැවැත්නුවර–
එකල්හි සඞ්ගාරව නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නේ ජලයෙන් පිරිසිදු බව පතයි. උදය සවස දියට බැසීම් ව්රතයෙහි යෙදුනේ වෙසෙයි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “වහන්ස, මෙහි සඞ්ගාරව නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නේ ජලයෙන් පිරිසිදු බව පත යි. උදය සවස දියට බැසීම් ව්රතයෙහි යෙදුනේ වෙසෙයි. වහන්ස, භාග්යවත්හු අනුකම්පා පිණිස සඞ්ගාරව නම් බමුණාගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා. ඒ මැනවි”යි. භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසා වදාළ සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ සඞ්ගාරව බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක.
එකල්හි සඞ්ගාරව බමුණු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සඞ්ගාරව බමුණාට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. බමුණ, සැබැව? තෝ ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නෙහි ජලයෙන් පිරිසිදු බව පතයි ද? උදය සවස දියට බැසීම් ව්රතයෙහි යෙදුනෙහි වෙසෙයි ද?
භවත් ගෞතමයෙනි, එසේ ය.
බමුණ, තෝ කිනම් ආනිසංසයක් දක්මින් ජලයෙන් පිරිසිදු වේ යයි අදහන්නෙහි ජලයෙන් පිරිසිදු බව පතයි ද? උදය සවස දියට බැසීම් ව්රතයෙහි යෙදුනෙහි වෙසෙයි ද?
භවත් ගෞතමයෙනි, මෙහි මා විසින් දහවල් යම් පව්කමෙක් කරණ ලද්දේ වේ ද, සවස නෑමෙන් එය පා කොට හරිමි. රෑ යම් පව්කමෙක් කරණ ලද්දේ වේ ද, උදය නෑමෙන් එය පා කොට හරිමි. භවත් ගෞතමයෙනි, මම මේ ආනිසංසය දක්නෙම් ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නෙම් ජලයෙන් පිරිසුදු බව පතමි. උදය සවස දියට බැසීම් ව්රතයෙහි යෙදුනෙම් වෙසෙමි යි.
[භගවත්හු:]
වේදයෙහි පරතෙරට ගිය ආර්ය්යයෝ යම් තැනෙක ස්නානය කළාහු නොතෙත් සිරුර ඇතිව ම නිවන් නමැති පරතෙරට ඒකාන්තයෙන් යෙද් ද, බමුණ, ධර්මය තෙමේ සිල් නමැති තොට ඇති වෙසෙසින් පහන් වූ උතුම් සත්පුරුෂයන් විසින් පසස්නා ලද (එබඳු) ජලාසයෙකි.
මෙසේ වදාළ කල්හි සඞ්ගාරව බමුණු තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.
7. 2. 12.
ඛොමදුස්ස සූත්රය
208. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි ශාක්යයන්ගේ ඛොමදුස්ස නම් නියම්ගම්හි වැඩවසන සේක, එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ඛොමදුස්ස නියම්ගමට පිඬු පිණිස පිවිසි සේක.
එකල, ඛොමදුස්ස නියම්ගම්වැසි බමුණුගැහැවියෝ කිසියම් කටයුත්තක් සඳහා සභායෙහි රැස්වූවාහු වෙති. වැස්ස ද එකිඑකි පොද හෙළයි.
එවිට භාග්යවතුන් වහන්සේ ඒ සභාව වෙත එළඹි සේක. ඛොමදුස්සක බමුණුගැහැවියෝ වඩින්නා වූ භාග්යවතුන් වහන්සේ දුර දී ම දුටුහ. දැක නින්දිත මුඩුමහණහු කවරහු ද, කවර කෙනෙක් සභාධර්මය දන්නාහු දැ යි මෙය කීහ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඛොමදුස්සක බමුණුගැහැවියන්ට ගාථායෙන් වදාළ සේක: