7. 1. 6.
ජටා සූත්‍රය
192. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
ඇතුළත අවුල් ය, පිටත අවුල් ය. ප්‍රජාව අවුලෙන් වළඳනා ලද්දී ය. ගෞතමයන් වහන්ස, එය මුබ විචාරමි: කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැයි.
[භගවත්හු:]
ප්‍රතිසන්‍ධිප්‍රඥා ඇති කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පාරිහාරිය නුවණ ඇති (සසර) බිය දක්නාසුලු ඒ සත්‍ව තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව ද වඩමින් මේ (තෘෂ්ණා) අවුල නිරවුල් කරන්නේ ය.
යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, (ඔහු) ක්‍ෂීණාස්‍රව රහත්හුය. ඔවුන් විසින් (තෘෂ්ණා) අවුල නිරවුල් කරණ ලදී.
යම් තැනෙක නාමය ද, රූපය ද, ප්‍රතිඝය ද, රූපසංඥාව ද (යාම මොහු) නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද, එහි මේ තෘෂ්ණා අවුල සිඳෙයි.
මෙසේ වදාළ කල්හි ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 7.
සුද්ධික සූත්‍රය
193. සැවැත්නුවර–
එකල්හි සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය.
ලෝකයේ කිසි බමුණෙක් සිල්වත් ද, තපස්කම් කරන්නේ ද, (එපමණින්) පිරිසිදු නො වේ. ඒ බමුණු තෙමේ විද්‍යායෙන් හා චරණධර්‍මයන්ගෙන් යුක්ත වූයේ පිරිසිදු වේ. මෙයින් අන්‍ය වූ සෙසු ප්‍රජාව පිරිසිදු නො වේ.
[භගවත්හු:]
බොහෝ ප්‍රලාප බෙණෙන්නේ ඇතුළත (කෙලෙසින්) කුණු වූයේ කිලිටි වූයේ කොහොන් බැව් ඇසුරු කෙළේ ජාතිමාත්‍රයෙන් බමුණෙක් නො වේ.
පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති නිති දැඩි පැරකුම් ඇති ක්‍ෂත්‍රියයා ද බ්‍රාහ්මණයා ද වෛශ්‍යයා ද ශුද්‍රයා ද සැඬොලා ද පුප්සඬුවා ද උත්තම සුද්ධි සඞ්ඛ්‍යාත නිවණට පැමිණෙත්. බමුණ, මෙසේ දනුව යි.
මෙසේ වදාළ කල්හි සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, … ආයුෂ්මත් සුද්ධිකභාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 8.
අග්ගික සූත්‍රය
194. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අග්ගිකභාරද්වාජ බමුණා විසින් ගිනි පුදන්නෙමි යි අග්ගිහෝමය කරන්නෙමියි ගිතෙලින් මුසු කිරිබතක් පිළියෙළ කරණ ලද්දේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. රජගහනුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙණ සේක් අග්ගිකභාරද්වාජ බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ එකත්පසෙක වැඩ සිටි සේක.