7. 1. 4.
බිලඞ්ගික සූත්‍රය
190. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. බිලඞ්ගිකභාරද්වාජ බමුණු තෙමේ භාරද්වාජගෝත්‍ර බමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් වෙත පැවිද්දට ගියේ ය යි ඇසී ය. කිපියේ නොසතුටුසිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ නිහඬ ව එකත් පසෙක සිටියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමසිතින් බිලඞ්ගිකභාරද්වාජ බමුණාගේ චිත්තපරිවිතර්‍කය දැන බිලඞ්ගිකභාරද්වාජ බමුණාට ගාථායෙන් වදාළ සේක:
යමෙක් නිරපරාධ වූ නික්ලේශී වූ පුරුෂපුද්ගලයකුට අපරාධ කෙරේ ද, ඒ පව උඩුසුලඟට දමන ලද සියුම් රජසක් මෙන් ඒ අඥානයා කරා ම පෙරළා එයි.
මෙසේ වදාළ කල්හි බිලඞ්ගිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 5.
අහිංසක සූත්‍රය
191. සැවැත්නුවර–
එකල්හි අහිංසකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් අහිංසකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, මම අහිංසක වෙමි. භවත් ගෞතමයෙනි, මම අහිංසක වෙමි”යි මෙය කීයේ ය.
[භගවත්හු:]
නාමය යම්සේ ද, ඉදින් එසේ වන්නෙහි නම් තෝ අහිංසක ම වෙහි. යමෙක් කයින් වචනයෙන් හා සිතින් ද, හිංසා නො කෙරේ ද, යමෙක් මෙරමා නො වෙහෙසා ද, හෙ තෙමේ ඒකාන්තයෙන් අහිංසකයෙක් වේ යි.
මෙසේ වදාළ කල්හි, අහිංසකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
7. 1. 6.
ජටා සූත්‍රය
192. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
ඇතුළත අවුල් ය, පිටත අවුල් ය. ප්‍රජාව අවුලෙන් වළඳනා ලද්දී ය. ගෞතමයන් වහන්ස, එය මුබ විචාරමි: කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැයි.
[භගවත්හු:]
ප්‍රතිසන්‍ධිප්‍රඥා ඇති කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පාරිහාරිය නුවණ ඇති (සසර) බිය දක්නාසුලු ඒ සත්‍ව තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව ද වඩමින් මේ (තෘෂ්ණා) අවුල නිරවුල් කරන්නේ ය.
යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, (ඔහු) ක්‍ෂීණාස්‍රව රහත්හුය. ඔවුන් විසින් (තෘෂ්ණා) අවුල නිරවුල් කරණ ලදී.