6. 1. 7.
කෝකාලික සූත්රය
178. සැවැත්නුවර–
එකල්හි භාග්යවතුන් වහන්සේ දිවාවිහාරය පිණිස වැඩිසේක් විවේකී වූ සේක. එකල්හි පච්චේකබ්රහ්ම වූ සුබ්රහ්ම තෙමේ ද පච්චේකබ්රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද භාග්යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන් වෙන් දොරබා ඇසුරු කොට සිටියහ. ඉක්බිති පච්චේකබ්රහ්ම වූ සුබ්රහ්ම තෙමේ කෝකාලික මහණ ඇරබ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
මේ ලෝකයෙහි කවර නම් නුවණැත්තෙක් අප්රමේය වූ ක්ෂීණාස්රවයා පමණ කෙරෙමින් කල්පනා කරන්නේ ද, අප්රමේය වූ ක්ෂීණාස්රවයන් පමණ කරන්නාවූ ඒ පෘතග්ජනයා අවකුජ්ජපඤ්ඤ පුද්ගලයෙකැයි හඟිමි.
6. 1. 8.
කතමෝරකතිස්ස සූත්රය
179. සැවැත්නුවර–
එකල්හි භාග්යවතුන් වහන්සේ දිවාවිහාරය පිණිස වැඩිසේක් විවේකී වූ සේක. එකල්හි පච්චේකබ්රහ්ම වූ සුබ්රහ්ම තෙමේ ද පච්චේකැබ්රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද භාග්යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන් වෙන් දොරබා ඇසුරු කොට සිටිය හ. ඉක්බිති පච්චේකබ්රහ්ම වූ සුද්ධාවාස තෙමේ කතමෝරකතිස්සක මහණහු ඇරබ භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය.
මේ ලෝකයෙහි කවර නම් නුවණැත්තෙක් අප්රමේය වූ ක්ෂීණාස්රවයා පමණ කෙරෙමින් කල්පනා කරන්නේ ද, අප්රමේය වූ ක්ෂීණාස්රවයන් පමණ කරන්නා වූ ඔහු අවකුජ්ජපඤ්ඤ වූ අඥානයෙකැ යි හඟිමි.
6. 1. 9.
තුදුබ්රහ්ම සූත්රය
180. සැවැත්නුවර–
එකල්හි කෝකාලික මහණ තෙමේ හටගත් අබාධ ඇත්තේ දුකට පැමිණියේ අධිමාත්ර කොට ගිලන් වූයේ වේ. ඉක්බිති මනා ඡවිවර්ණ ඇති තුදු නම් පච්චේකබ්රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා කෝකාලික මහණ වෙත එළඹියේ ය. එළඹ අහස සිටියේ කෝකාලික මහණහට මෙය කී ය. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ප්රියශීලී හ යි.
ඇවැත්නි, තෝ කවරෙහි ද? මම තුදුපච්චේකබ්රහ්ම වෙමි. ඇවැත්නි, තෝ අනාගාමී යයි භාග්යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ නො වේ ද? එසේ ඇති කල්හි කුමකට මෙහි ආයෙහි ද? තා විසින් මේ කොතරම් අපරාධයෙක් කරණ ලද්දේ දැයි බලව.
අඥාන තෙමේ දුබැසි බෙණෙමින් යමෙකින් තමා සිඳී ද? උපන් (එබඳු) මිනිසා ගේ මුවෙහි (ඒ තමා නසන) කෙටේරිය හට ගණී.
යමෙක් නින්දා කටයුත්තා පසසා ද, යමෙක් පැසසිය යුත්තේ නම් ඔහුට නින්දා හෝ කෙරේ ද, හෙ තෙමේ මුවෙන් පව් රැස් කෙරේ. ඒ පවින් සුවයක් නො විඳී.
දූකෙළීම් ආදියෙහි යම් වස්තු පරාජයෙක් වේ ද, තමනුත් සමග සියලු දේ සම්බන්ධ (යම් පරිහාණියෙකුත් වේ ද,) ඒ අපරාධය ඉතා ස්වල්ප ය. යමෙක් ශෝභන ගති ඇත්තවුන් කෙරෙහි සිත දුෂ්ට කරන්නේ ද, මෙය ම ඉතා මහත් අපරාධ යයි.
ආර්ය්යයන්ට ගරහන පුද්ගල තෙමේ ලාමක වූ වචන ද, සිත ද පිහිටුවා (ඒ හේතුවෙන්) යම් නිරයකට පැමිණේ ද, (එහි ආයුෂ) නිරබ්බුද ලක්ෂයෙක් ද සතිසෙක් ද, අබ්බුද පසෙක් ද වෙත්.
6. 1. 10.
දුතියකෝකාලික සූත්රය
181. සැවැත්නුවර–
එකල්හි කෝකාලික මහණ තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කෝකාලික මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. වහන්ස, සැරියුත් මුගලන් තෙරහු ලාමක ආශා ඇත්තෝ ය. ලාමක ආශාවන්ට වසඟ වූවෝ ය.
මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්රියශීලීහ.