6. 1. 5.
අපරාදිට්ඨි සූත්‍රය
176. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි එක්තරා බඹකුට යමෙක් මෙහි පැමිණෙන්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැතැයි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියෙක් උපන්නේ වෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහුගේ චිත්තපරිවිතර්‍කය (තම) සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූ සේක් ඒ බඹලොව්හි පහළ වූ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙජොධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පලක් බැඳ වැඩ හුන් සේක.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පලඟින් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දුටුහ. දැක යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද; දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද පෙරදිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේ යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි පලඟින් වැඩ හුන්හ.
ඉක්බිති ආයුෂ්මත් මහාකස්සප තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහාකස්සප තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පර්‍ය්‍යඞ්කයෙන් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දුටුහ. දැක යම් සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ. එකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ දකුණු දිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේ යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන්හ.
ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පලඟින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ … දිවසින් දුටුහ. දැක යම්සේ බලවත් පුරුෂයෙක් ... එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ පැසුලු දිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේට යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතුවට සමවැද පලඟින් වැඩ හුන්හ.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවෙසෙන සේක් දැයි මේ සිත වි ය. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ … දිවැසින් දුටුහ … ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ උතුරුදිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේට යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පලඟින් වැඩ හුන්හ.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුවෝ ඒ බඹහට ගාථායෙන් වදාළහ.
ඇවැත්නි, පෙර තාගේ යම් දෘෂ්ටියෙක් වී ද, තාගේ ඒ දෘෂ්ටිය අදත් තිබේ ද, බඹලොව (ප්‍රභා) මැඩ පවත්වමින් බුදුරජානන් වහන්සේ දකිහි.