6. 1. 2.
ගාරව සූත්රය
173. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩ වසන සේක.
එකල්හි එකලා ව චිත්තවිවේකයෙන් හුන් භාග්යවතුන් වහන්සේට කිසිවකු ගුරුතන්හි නො තබා කිසිවකු දෙටු තන්හි නො තබා වසන්නේ දුකසේ වෙසෙයි. මම කවර මහණෙකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් දැ යි මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේට මේ අදහස විය. නොපිරිපුන් සීලක්ඛන්ධය පිරීම පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් ද, (එසේ) මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් සීලසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජායෙහි මම නො දකිමි.
නො පිරිපුන් සමාධික්ඛන්ධය පිරීම පිණිස … මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩි තරම් සමාධි සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ …
නො පිරිපුන් පඤ්ඤාක්ඛන්ධය පිරීම පිණිස ... මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් තමහට වැඩි තරම් ප්රඥා සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ …
නොපිරිපුන් විමුක්තිස්කන්ධය පුරාලීම පිණිස ... මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් විමුක්තිසම්පන්න වූ අන් මහණකු හෝ බමුණකු හෝ …
නොපිරිපුන් විමුත්තිඤාණදස්සනක්ඛන්ධය පුරාලීම පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නෙම් (එසේ) මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් විමුත්තිඤාණදස්සන සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවියන් සහිත ප්රජායෙහි මම නොදකිමි. යම් ඒ ධර්මයක් මා විසින් මනාකොට අවබෝධ කරණ ලද්දේ ද, ඒ ධර්මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නෙම් නම් මැනවැ යි.
ඉක්බිති සහම්පති බ්රහ්ම තෙමේ තමසිතින් භාග්යවතුන් වහන්සේ චිත්තපරිවිතර්කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අත දිගු කරන්නේ හෝ, දිගු කළ ඇත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම බඹලොව අතුරුදහන් වූසේ භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය.
ඉක්බිති සහම්පති බ්රහ්ම තෙමේ උතුරුසළුව එකස් කොට භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භාග්යවතුන් වහන්ස, තෙල එසේ ම ය. සුගතයන් වහන්ස, තෙල එසේ ම ය. වහන්ස, අතීත කාලයෙහි යම් ඒ අර්හත් සම්මාසම්බුදු කෙනෙක් වූ සේක නම් ඒ භාග්යවතුන් වහන්සේත් ධර්මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට විසූ සේක. වහන්ස, අනාගත කාලයෙහි යම් ඒ අර්හත් සම්මාසම්බුදු කෙනෙක් වන සේක් නම් ඒ භාග්යවතුන් වහන්සේත් ධර්මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන සේක්වායි. සහම්පති බ්රහ්ම තෙමේ මෙය සැළ කළේ ය. මෙය සැළ කොට යලිත් මෙය ද කීය:
අතීතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වූ සේක් ද, අනාගතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වන සේක් ද, බොහෝ දෙනාගේ ශෝකය නසන යම් සම්බුදු කෙනෙකුත් දැන් ඇත් ද,
ඒ සියලු බුදුරජානන් වහන්සේ ම සද්ධර්මය ම ගරු කොට ගත්තාහු විසූ සේක. දැන් වසන සේක. වැලිත් (මතු ද) වසන සේක. මේ බුදුවරුන්ගේ ස්වභාව යි.
එහෙයින් වැඩ කැමති මහත්බව පතන්නහු විසින් බුදුසසුන සිහි කරමින් සදහම ගුරු කටයුත්තේ ය.
6. 1. 3.
බ්රහ්මදේව සූත්රය
174. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා බැමිණියකගේ බ්රහ්මදේව නම් පුතෙක් ගිහිගෙන් නික්ම භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්දට පැමිණියේ වෙයි.
එකල්හි ආයුෂ්මත් බ්රහ්මදේව තෙමේ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නේ යමක් පිණිස කුලපුත්රයෝ මැනවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, සසුන බඹසරට අවසන් වූ ඒ නිරුත්තර රහත්ඵලය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණි විසී ය. ජාතිය ක්ෂීණ වූවා ය. මගබඹසර වැස නිමවන ලදී. සොළොස් කරණී කොට නිමවන ලදී. තෙල කරණී පිණිස නොහොත් රහත්බව පිණිස කළයුතු අන් කරණී නැතැයි වෙසෙසින් දැනගත්තේ ය. ආයුෂ්මත් බ්රහ්මදේවයෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.