5. 1. 5.
උප්පලවණ්ණා සූත්රය
166. සැවැත්නුවර–
එකල්හි උප්පලවණ්ණා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනයට එළඹුන. අන්ධවනයට පිවිස එක්තරා සුපිපි සල්රුකක්මුල සිටියා.
ඉක්බිති පවිටු මාර තෙමේ උප්පලවණ්ණා මෙහෙණට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ උප්පලවණ්ණා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ උප්පලවණ්ණා මෙහෙණට ගාථායෙන් කීය:
මෙහෙණ, තො අග පටන් සුපිපි සල්රුකක් වෙත එළඹ ඒ සල්රුක මුල එකලා ව සිටිහි. තිගේ පැහැසටහන් සා දෙවන පැහැසටහනෙක් ද නැත. මෙහි පැමිණි අන්හු ද තොප වැන්නාහුය. (තොපසෙයින් සසඟ හා සෙනෙහස නැතියහ) බාලාවෙනි. තෝ සලෙලුනට නො බහි ද?
ඉක්බිති උප්පලවණ්ණා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ යි” මේ සිත විය. එකල්හි උප්පලවණ්ණා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ අදහස විය. එකල්හි උප්පලවණ්ණා මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:
තා වැනි ධුර්තයන් සියදහස්හු මෙහි පැමිණියාහු වෙත් ද, ලෝමයකුත් නොසලමි. නො ම තැති ගනිමි. මාරය, එකලා වූ ද මම තට නො බමි.
තෙල මම අතුරුදන් වෙමි. තොප කුසට හෝ පිවිසෙමි. දෙඇස අතුරෙහි නැහැවසටෙහි සිටුනා ද මා නො දකිහි.
සිතෙහි ලා වශී වෙමි. ඍද්ධිපාදයෝ මැනවින් වඩනා ලදහ. සියලු බැම්මෙන් මිදුනිම් වෙමි ඇවැත, මම තට නො බමි.
එකල්හි පවිටු මාරු තෙමේ උප්පලවණ්ණා මෙහෙණ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
5. 1. 6.
චාලා සූත්රය
167. සැවැත්නුවර–
එකල්හි චාලා මෙහෙණ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹුන. අන්ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.
ඉක්බිති පවිටු මරු චාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ චාලා මෙහෙණහට මෙය කී ය.
මෙහෙණ, තෝ කුමක් නොරුස්නෙහි ද?
[චාලා මෙහෙණ:]
ඇවැත්නි, මම ජාතිය නො රුස්නෙමි.
[මරු;]
කුමක් හෙයින් ජාතිය නො රුස්නෙහි ද? උපන් තැනැත්තේ කම්සැප විඳී. මෙහෙණ, ජාතිය නුරුස්ව යන මේ දෘෂ්ටිය කවර අඳබලෙක් තිට ගැන්වි ද?
[චාලා මෙහෙණ:]
උපන්නහුට මරණය වෙයි. උපන් තැනැත්තේ බැඳුම් වද උවදුරු යන දුක් විඳී, එහෙයින් ජාතිය නො රුස්නෙමි.
යමෙක් මා සත්යයෙහි පිහිට වී ද, ඒ සර්වඥයන් වහන්සේ ජාතිය ඉක්මවන දහම සියලු දුක් නැසීම පිණිස දෙසූ සේක.
රූපභවයට පැමිණි යම් සත්ව කෙනෙක් වෙද් ද, අරූපභවයෙහි සිටින යම් සත්ව කෙනෙකුත් වෙද්ද, නිවණ නො දන්නා ඔහු පුනර්භවයට පැමිණෙන සුලු වෙති.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.
5. 1. 7.
උපචාලා සූත්රය
168. සැවැත්නුවර–
එකල්හි උපචාලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුන. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී අන්ධවනය වෙත දිවාවිහරණය පිණිස එළඹිනී ය. අන්ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.