3. 2. 6.
ධීතු සූත්‍රය
127. සැවැත්නුවර–
ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
එකල්හි එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජු වෙත එළඹියේ ය. එළඹ පසේනදි රජහට “දේවයන් වහන්ස, මල්ලිකාදේවී තොමෝ දුවක වැදුවා ය”යි කණ ලඟ සැළ කළේ ය. එසේ කී කල්හි පසේනදි කොසොල් රජ නො සතුටු සිත් ඇත්තේ විය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පසේනදි කොසොල් රජු නොසතුටු සිත් ඇත්තහු දැන ඒ වේලාවෙහි මේ ගාථා වදාළ සේක.
රජතුමනි, ඇතැම් ස්ත්‍රිය ද ශ්‍රේෂ්ඨ ය. (එහෙයින්) පොෂණය කරුණු මැන. නුවණැති සිල්වත් නැදිමයිලන් දෙවි කොට වෙසෙන පතිවත රක්නා (යම් ස්ත්‍රියක් වේ ද,)
දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, (හෙ තෙමේ) දක්‍ෂයෙක් වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍ර තෙමේ රාජ්‍යානුශාසනා ද කෙරෙයි.
3. 2. 7.
අප්පමාද සූත්‍රය
128. සැවැත්නුවර–
එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහමෙක් ඇද්ද?
මහරජ, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහමෙක් ඇත.
වහන්ස, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහම කිමෙක් ද?
මහරජ, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහම අප්‍රමාදය යි. මහරජ, ඇවිදින ප්‍රාණින්ගේ යම් කිසි පා සටහන්හු වෙත් නම් ඒ සියල්ලෝ යම්සේ ඇත්පියෙහි ඇතුළත වීමට යෙද්ද, යම් ඒ මහත්ත්‍වයෙන් ඇත්පිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේද, මහරජ, එසෙයින් ම යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් අප්‍රමාදය ඒ එක් දහම යි.
ආයුෂ, නීරෝගබව ද, ශරීර වර්‍ණය ද, ස්වර්‍ගය ද, උසස්කුල ඇති බව ද, උදාර වූ අන්‍යෝන්‍ය වූ සිත් අලවන දෑ ද පතන්නහු විසින් පුණ්‍ය ක්‍රියාවන්හි නොපමාවීම නුවණැත්තෝ පසසත්.
මෙලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පරලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පණ්ඩිත තෙමේ නො පමා වූයේ ඒ දෙවැදෑරුම් අභිවෘද්ධිය ම ලබයි. ධෘතිසම්පන්න පුද්ගල තෙමේ අර්‍ත්‍ථප්‍රතිලාභය හේතු කොට ගෙණ පණ්ඩිත ය යි කියනු ලැබේ.
3. 2. 8.
කල්‍යාණමිත්ත සූත්‍රය
129. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය. වහන්ස, මෙහි රහසිගත ව එකලාව හුන් මා සිත්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනවින් වදාරණ ලදී. හෙ ද කලණ මිතුරන් ඇත්තහුට ය. කලණ යහළුවන් ඇත්තහුට ය. කලණයන් කෙරෙහි නැමුනහුට ය. පවිටු මිතුරන් ඇත්තහුට නො වේ. පවිටු යහළුවන් ඇත්තහුට නො වේ. පවිටන් කෙරෙහි නැමුනහුට නො වේ” යන මෙබඳු චිත්ත විතර්‍කයෙක් පහළ විය.