3. 2. 3.
දෝණපාක සූත්‍රය
124. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ තිඹක්සාලෙහි බත අනුභව කෙරෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ අනුභව කළේ මහත් කොට සුසුම් හෙළන සුලු වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පසේනදි කොසොල් රජු, අනුභව කළහු, මහත් කොට සුසුම් හෙළන්නහු දැන ඒ වේලාවෙහි මේ ගාථාව වදාළ සේක:
හැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේ ය.
එකල්හි සුදස්සන මාණවක තෙමේ කොසොල් රජු පිටිපස සිටියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සුදස්සන මාණවකයා ඇමතී ය. දරුව, සුදස්සන, එව තෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය පිරිවහා මා බත් වළඳන කල්හි කියව. මම ද තට දවස් පතා කහවණු සියයක් නිත්‍ය භික්‍ෂාවක් (=වැටුපක්) පවත්වන්නෙමි යි. එසේ ය, දේවයන් වහන්සැ යි සුදස්සන මාණවක තෙමේ පසේනදී කොසොල් රජහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පිරිවහා පසේනදි කොසොල් රජ බත් වළඳන කල්හි කියයි:
“හැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේයි.”
ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පිළිවෙළින් සහල් නැළියක බත වැඩි ම ආහාරය කොට ඇති බැව්හි සිටියේ ය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පසු කලෙක සැහැල්ලු සිරුරු ඇත්තේ අතින් ශරීරාවයවයන් පිරිමදනේ ඒ වේලාවෙහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලොව අභිවෘද්ධියෙන් ද, පරලොව අභිවෘද්ධියෙන් ද යන උභයාර්‍ත්‍ථයෙන් ම මට අනුකම්පා කළ සේකැ” යි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේ ය.
3. 2. 4.
පඨමසඞ්ගාම සූත්‍රය
125. සැවැත්නුවර–
එකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාසත්තු රජ තෙමේ සිවුරඟ සෙනග (සන්නාහ) සන්නද්ධ කොට ගෙණ පසේනදි කොසොල් රජුට විරුද්ධ ව යුධ පිණිස කසී ගම කරා ඉදිරියට ගියේ ය.
පසේනදි කොසොල් රජ තෙමේ “මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ සිවුරඟ සෙනඟ සරසා ගෙන මට විරුද්ධ ව යුධ පිණිස කසී ගම කරා පැමිණියේ ය”යි ඇසී ය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසවා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජුට විරුද්ධ ව කසී ගම කරා යුධ පිණිස ඉදිරියට ගියේ ය.
මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ ද, පසේනදි කොසොල්රජ තෙමේ ද යුධ කළ හ. ඒ යුදෙහි දී මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පසේනදි කොසොල්රජු පැරදවී ය. පැරදුනු පසේනදි කොසොල්රජ තෙමේ ස්වකීය රාජධානිය වූ සැවැත්නුවර ම පෙරළා ගියේ ය.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පොරොව පා සිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
වහන්ස, මෙහි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල් රජුට විරුද්ධව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, පසේනදි කොසොල් රජ තෙමේ “මගධේශ්වර වූ වේදේහිතපුත්‍ර අජාතසත්තු තෙමේ මට විරුද්ධව යුධ පිණිස සිවුරඟ සෙනඟ සරසා ගෙණ කසීගම කරා ඉදිරියට ගියේ ය”යි ඇසී ය. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජුට විරුද්ධ ව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, එකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ ද, පසේනදි කොසොල් රජ තෙමේ ද යුද කළ හ.
වහන්ස, ඒ යුදෙහි දී මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පසේනදි කොසොල් රජ පැරද වීය. වහන්ස, පැරදුන පසේනදි කොසොල් රජ තෙමේ සිය රාජධානිය වූ සැවැත්නුවරට ම පෙරළා ගියේ ය.
මහණෙනි, මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පවිටු මිතුරන් ඇත්තේ ය. පවිටු යහළුවන් ඇත්තේ ය. පවිටන් කෙරෙහි නැමුනේ ය. මහණෙනි, පසේනදි කොසොල් රජ තෙමේ කලණ මිතුරන් ඇත්තේ ය. කලණ යහළුවන් ඇත්තේ ය. කලණයන් කෙරෙහි නැමුනේ ය. මහණෙනි, පසේනදි කොසොල්රජ තෙමේ පැරදුනේ අද මේ රැයත් දුක සේ හොවින්නේ ය.
දිනන්නේ වෛරී ජනයා ලබයි. පැරදුනේ දුක සේ වෙසෙයි. දිනුම් පැරදුම් දෙක හැර සන්සිදුනේ සුව සේ වෙසෙයි.