3. 1. 2.
පුරිස සූත්රය
113. සැවැත්නුවර–
එකල්හි පසේනදී කොසොල් රජ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේට “වහන්ස, කෙතෙක් ධර්මයෝ පුරුෂයාගේ සිය සතන්හි රසදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත් දැ” යි තෙල සැළ කළේ ය.
මහරජ, දහම්හු තිදෙනෙක් පුරුෂයාගේ සිය සතන්හි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත්. කවර තිදෙනෙක යත්: මහරජ, ලෝභය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, ද්වේෂය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මෝහය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මේ දහම්හු තුන්දෙන පුරුෂයාගේ සිය සතන්හි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත්.
ලෝභය ද ද්වේෂය ද මෝහය ද සිය සතන්හි හටගත්තාහු ළමු අදහස් ඇති පුරුෂයා සිය ඵලය (හුණ බට ආදී) පොතුහර ගසක් පෙළෙන්නාක් මෙන් පෙළත්.
3. 1. 3.
රාජ සූත්රය
114. සැවැත්නුවර–
එකත්පසෙක සිටි පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේට “වහන්ස, උපන්නහුට ජරාමරණ හැර අනෙකෙක් ඇද්දැ” යි තෙල සැළ කළේ ය.
මහරජ, උපන්නහුට ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, ආඪ්ය වූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ විතී හා උවරණ (චස්තුපකරණ) බොහෝ ධනධාන්ය ඇති කැත්මහසල් කෙනෙකුත් වෙද්ද: උපන් ඔවුන ට ද ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, යම් ඒ බමුණුමහසල් කෙනෙකුත් වෙද්ද? … මහරජ, ආඪ්ය වු මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ චස්තුපකරණ ඇති බොහෝ ධනධාන්ය ඇති ගැහැවිමහසල් කෙනෙකුත් වෙද්ද? උපන් ඔවුන්ට ද ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, රහත් වූ ක්ෂය කළ ආස්රවයන් ඇති මගබඹසර වැස නිම වූ කළ සිවුමග කිස ඇති බහා තැබූ කෙලෙස් බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති ක්ෂය කළ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුනු යම් රහත් මහණ කෙනෙකුත් වෙද්ද? ඔවුන්ගේ ද මේ කය බිඳෙන ස්වභාව ඇත්තේ ය. බැහැර ලිය යුතු ස්වභාව ඇත්තේ ය යි.
විසිතුරු වූ රාජ රථයෝ ඒකාන්තයෙන් දිරත්. තවද සිරුර ද දිරීමට පැමිණේ. සත්පුරුෂයන්ගේ ධර්මය දිරීමට නො පැමිණේ. සත්පුරුෂයෝ ඒකාන්තයෙන් සත්පුරුෂයන් සමග මෙසේ ප්රකාශ කෙරෙත්.
3. 1. 4.
පිය සූත්රය
115. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත වූ එකලාව හුන් මාගේ සිත්හි “කිනම් කෙනකුන්ට තෙමේ ප්රිය” වේ ද? කිනම් කෙනකුන්ට තෙමේ අප්රිය වේ දැ? යි මෙබඳු විතර්කයෙක් පහළ විය.