2. 1. 1.
පඨමකස්සප සූත්‍රය
82. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති කසුප් දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය.
එකත් පසෙක සිටි කසුප් දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “භාග්‍යවතුන් වහන්සේ මහණහු පැවසූ සේක. මහණහට අනුශාසනාව නො ද (පැවසූ සේක) යි.”
[භගවත්හු:]
කාශ්‍යපය, එසේ වී නම් මෙහි ලා තොපට ම වැටහේවා.
“වාක්සුචරිතය වඩන්නේ ය. ශ්‍රමණයන් විසින් එළඹිය යුතු අටතිස් අරමුණු ද කායවිවේකය ද (අෂ්ටසමාපත්ති වශයෙන්) සිත සංහිඳුවීම ද එකලාව වඩන්නේ” යි.
කසුප් දෙව්පුත් තෙමේ මෙය කී ය. ශාස්තෲන් වහන්සේ සමාන අදහස් ඇති වූ සේක.
ඉක්බිති කසුප් දෙව්පුත් තෙමේ ශාස්තෲන්වහන්සේ මාගේ (වචන) අනුමත කළ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
2. 1. 2.
දුතියකස්සප සූත්‍රය
83. සැවැත්නුවර–
එකත්පසෙක සිටි කසුප් දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
මහණ තෙමේ ඉදින් හෘදයානුප්‍රාප්තිසඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය කැමතිවන්නේ නම් ලොව පිළිබඳ උදයව්‍යය දැන ධ්‍යාන වඩන්නෙක් මිදුනු සිත් ඇත්තෙක් (එහෙයින් ම) මනා සිත් ඇත්තෙක් (තෘෂ්ණාදෘෂ්ටින්) අනිඃශ්‍රිතයෙක් ඒ අර්‍හත්ත්‍වය අනුසස් කොට ඇත්තෙක් වන්න්නේ යි.
2. 1. 3.
මාඝ සූත්‍රය
84. සැවැත්නුවර–
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති මාඝ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි මාඝදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කුමක් නසා සුවසේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? ගෞතමයන් වහන්ස, කිනම් එක් දහමක්හුගේ නැසීම රුස්නෙහි ද?
[භගවත්හු:]
ක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරේ. ශක්‍රය, විෂ වූ මුල ඇති මිහිරි වූ අග ඇති ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නසා ම ශෝක නො කෙරේ.
2. 1. 4.
මාගධ සූත්‍රය
85. සැවැත්නුවර–
එකත්පසෙක සිටි මාගධ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
යමෙකින් ලොව බබාලා නම් එබඳු එළි ලොව කෙතෙක් ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවත්හු:]
ලොව එළි සතරෙකි. මෙහි පස්වැන්නෙක නැත. දවල් හිරු බබලයි. සඳු රෑ බබලයි.
තව ද ගින්න රෑදෙවෙහි ඒ ඒ තැන බබලයි. සර්‍වඥයන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයහ. මේ ආලෝකය නිරුත්තර ය.
2. 1. 5.
දාමලි සූත්‍රය
86. සැවැත්නුවර–
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති දාමලි දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි දාමලිදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව කී ය: