11. 2. 8.
සක්කනමස්සන සූත්‍රය
264. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. සක් දෙවිඳු මාතලි රියදුරු ඇමතී ය: සගය, මාතලි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදව. මනා බිම වූ උයන්බිම දක්නට යමු.
මහණෙනි, ‘එසේ ය මුබට යෙහෙක් වේවායි’ මාතලි රියදුරු තෙමේ සක්දෙවිඳුහට පිළිවදන් දී දහසින් යුතු ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුහට නිදුකානෙනි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදන ලදී. එයට කල් දනුව යි සැළ කෙළේ ය.
මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ විජයොත් පහයෙන් බස්නේ බඳැඳිලි ව ම හැම දිගුන් නමඳියි. මහණෙනි, එකල්හි මාතලි රියදුරු සක්දෙව්රජුට ගාථායෙන් කී ය:
වේදත්‍රය හදාරණ සියලු භූලෝකවාසීහු ද, ක්‍ෂත්‍රියයෝ ද, සතරවරම්දෙවිමහරජහු ද, යශස් ඇති දෙවියෝ ද, මුබ වඳිත්. වැලි සක්දෙවිඳුනි, මුබ යමකු වඳනාහු නම් හේ කිනම් සත්ත්‍වයෙක් ද?
[සක්දෙවිඳු:]
ත්‍රිවේදය හදාරණ පොළෝතල වැසි සියල්ලෝ ද ක්‍ෂත්‍රියයෝ ද සිවුවරම් දෙව්මහරජහු ද යශස් ඇති දෙවියෝ ද මා නමඳිත්.
මම ද ශීලයෙන් සමන්‍විත වූ බොහෝ කලක් මුළුල්ලෙහි එකඟ කළ සිත් ඇති බඹසරවිසුම්හි තත්පර වූ පැවිද්දන් මැනවින් වඳිම්.
පින් කරණ සිල්වත් වූ ගෘහස්ථ යම් උවසු කෙනෙක් දැහැමින් අඹුදරුවන් පුසිද්ද. මාතලි, මම ඔවුන් නමඳිමි.
[මාතලි:]
සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් වඳනාහු ද, ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝ ම ය. සක්දෙව්රදුනි, (මුබ) යම් කෙනකුන් වඳනාහු ද මම ද ඔවුන් නමඳිමි.
[තෙරහු:]
දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ මඝවන්තු නම් වූ සක්දෙව්රජ තෙමේ මෙය කියා හැම දිගුන් නැමඳ රියට නැංගේ ය.
11. 2. 9.
දුතියසක්කනමස්සන සූත්‍රය
265. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙවිඳු තෙමේ මාතලි රියැදුරා ඇමතීය: ‘සගය මාතලි, සහස්‍රයුක්ත ආජඤ්ඤරථය යොදව. මනහර බිම වූ උයන් බිම දක්නට යමු’යි.
“මහණෙනි, මාතලි රියදුරු තෙමේ ‘එසේ ය, මුබට මැනැවෙකි’යි පිළිතුරු දී දහසින් යුත් ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුට ‘නිදුකානෙනි, මුබගේ දහසින් යුත් ආජඤ්ඤරථය යොදන ලදී. එයට දැන් කල් දනුව’යි සැළ කෙළේ ය.
මහණෙනි, එකල්හි සක්දෙවිඳු විජයොත්පහයෙන් බස්නේ බැඳැදිලි වැ සිට භාග්‍යවතුන් වහන්සේ නමඳියි.
මහණෙනි, එකල්හි මාතලි රියැදුරු තෙමේ සක් දෙවිඳුට ගාථායෙන් කී ය:
‘සක්දෙවිඳුනි, යම් හෙයෙකින් දෙවියෝත් මිනිස්සුත් තොප වඳිද්ද, වැලි ඒ තෙපි යමකු වඳිවු නම් හෙ කිනම් සත්ත්‍වයෙක් ද?
[සක්දෙවිඳු:]
එම්බා මාතලි, මෙහි දෙවියන් සහිත මේ ලොව්හි යම් සම්මාසම්බුදු කෙනෙක් වෙද්ද, අලාමක නම් ඇති ඒ ශාස්තෲන් වහන්සේ නමඳිමි.
යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, ඔහු ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්හු ය. මාතලි මම ඔවුන් නමඳිමි.
මාතලි, යම් කෙනෙක් රාගද්වේශයන් දුරු කිරීමෙන් අවිද්‍යාව ඉක්මීමෙන් ශෛක්‍ෂ වූවාහු සසරවට නැසීමෙහි ඇලුනාහු නොපමා ව හික්මෙද්ද, මම ඔවුන් නමඳිමි.
[මාතලි:]
සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් වඳනාහු ද, ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝ ම වෙති. සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහු නම් මමත් ඔවුන් නමඳිමි.
[තෙරහු:]
මඝවත් නම් වූ දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ සක්දෙවිඳු තෙමේ මෙය කියා භාග්‍යවතුන් වහන්සේ නැමැඳ රියට නැංගේ ය.
11. 2. 10.
තතියසක්කනමස්සන සූත්‍රය
266. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: