11. 2. 6.
යජමාන සූත්රය
262. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
පින් කැමති ව යාග කරන්නා වූ උපධිවිපාක ඇති පින් කරන්නා වූ මනුෂ්යප්රාණීන් විසින් කවර කෙනකුන්ට දෙන ලද්ද මහත්ඵල වේදැ යි.
[භගවත්හු:]
මාර්ගප්රතිපන්නයෝ සිවුදෙන ද, ඵලස්ථයෝ සිවුදෙන දැයි මේ (අෂ්ටාර්ය්යපුද්ගල) සඞ්ඝ තෙමේ ඍජු වූයේ ය. ප්රඥාශීලසමාධීන් යුක්ත ය.
පින් කැමති ව යාග කරන්නා වූ උපධිවිපාක ඇති පින් කරන්නා වූ මනුෂ්යප්රාණීන් විසින් ඒ සඞ්ඝයාහට දෙන ලද්ද මහත්ඵල වේ.
11. 2. 7.
වන්දනා සූත්රය
263. සැවැත්නුවර–
එකල්හි භාග්යවතුන් වහන්සේ දිවාවිහරණයට වැඩිසේක් පිළිසලන ඇති සේක. ඉක්බිති සක්දෙව් රජ ද සහම්පති බඹු ද භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ වෙන වෙන දොරබා ඇසුරු කොට සිටියහ. එකල්හි සක්දෙව්රජ භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය.
වීරයන් වහන්ස, දිනන ලද සඞ්ග්රාම ඇත්තානෙනි, බහා තබන ලද බර ඇත්තවුන් වහන්ස, ණය නැත්තානෙනි, නැගී සිටිනු මැනවි. ලොව හැසිරෙණු මැනවි. මුබ වහන්සේගේ සිතත් පුණුරැසි රැයක් සඳ මෙන් මැනවින් මිදුනේ ය.
[භගවත්තු:]
දේවේන්ද්රය. තථාගතයෝ මෙසේ නො ම වැඳිය යුත්තාහ. දේවේන්ද්රය. තථාගතයෝ මෙසේ වැඳිය යුත්තාහ.
වීරයන් වහන්ස, විජිතසඞ්ග්රාමයන් වහන්ස, සාර්ත්ථවාහයන් වහන්ස, අනණයන් වහන්ස, නැඟී සිටිනු මැනවි. ලොව හැසිරෙණු මැනව. භාග්යවතුන් වහන්ස, ධර්මය දේශනා කරණු මැනව අවබෝධ කරන්නෝ ඇත.
11. 2. 8.
සක්කනමස්සන සූත්රය
264. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. සක් දෙවිඳු මාතලි රියදුරු ඇමතී ය: සගය, මාතලි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදව. මනා බිම වූ උයන්බිම දක්නට යමු.
මහණෙනි, ‘එසේ ය මුබට යෙහෙක් වේවායි’ මාතලි රියදුරු තෙමේ සක්දෙවිඳුහට පිළිවදන් දී දහසින් යුතු ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුහට නිදුකානෙනි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදන ලදී. එයට කල් දනුව යි සැළ කෙළේ ය.
මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ විජයොත් පහයෙන් බස්නේ බඳැඳිලි ව ම හැම දිගුන් නමඳියි. මහණෙනි, එකල්හි මාතලි රියදුරු සක්දෙව්රජුට ගාථායෙන් කී ය:
වේදත්රය හදාරණ සියලු භූලෝකවාසීහු ද, ක්ෂත්රියයෝ ද, සතරවරම්දෙවිමහරජහු ද, යශස් ඇති දෙවියෝ ද, මුබ වඳිත්. වැලි සක්දෙවිඳුනි, මුබ යමකු වඳනාහු නම් හේ කිනම් සත්ත්වයෙක් ද?
[සක්දෙවිඳු:]
ත්රිවේදය හදාරණ පොළෝතල වැසි සියල්ලෝ ද ක්ෂත්රියයෝ ද සිවුවරම් දෙව්මහරජහු ද යශස් ඇති දෙවියෝ ද මා නමඳිත්.
මම ද ශීලයෙන් සමන්විත වූ බොහෝ කලක් මුළුල්ලෙහි එකඟ කළ සිත් ඇති බඹසරවිසුම්හි තත්පර වූ පැවිද්දන් මැනවින් වඳිම්.
පින් කරණ සිල්වත් වූ ගෘහස්ථ යම් උවසු කෙනෙක් දැහැමින් අඹුදරුවන් පුසිද්ද. මාතලි, මම ඔවුන් නමඳිමි.
[මාතලි:]
සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් වඳනාහු ද, ඔහු ලොව්හි ශ්රේෂ්ඨයෝ ම ය. සක්දෙව්රදුනි, (මුබ) යම් කෙනකුන් වඳනාහු ද මම ද ඔවුන් නමඳිමි.
[තෙරහු:]
දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ මඝවන්තු නම් වූ සක්දෙව්රජ තෙමේ මෙය කියා හැම දිගුන් නැමඳ රියට නැංගේ ය.