11. 2. 4.
දළිද්ද සූත්‍රය
260. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. මේ රජගහනුවර ම මනුෂ්‍යදරිද්‍ර (දිළිඳු මිනිසකු) වූ මනුෂ්‍ය කෘපණ (මනුෂ්‍යයින්ගේ කරුණාවට භාජන) වූ මනුෂ්‍යවරාක (ලාමක මිනිසකු) වූ එක්තරා පුරුෂයෙක් විය. හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් වූයේ ය. ශීලය සමාදන් වූයේ ය. ශ්‍රැතය සමාදන් වූයේ ය. ත්‍යාගය සමාදන් වූයේ ය. ප්‍රඥාව සමාදන් වූයේ ය.
හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් ව ශීලය සමාදන් ව ශ්‍රැතය සමාදන් ව ත්‍යාගය සමාදන් ව ප්‍රඥාව සමාදන් ව කාබුන් මරණින් මතු තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට, මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ ශරීරවර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.
මහණෙනි, එහි තව්තිසාවැසි දෙවියෝ නින්‍දා කෙරෙත්, දොස් කියත්, අවමන් කෙරෙත්: පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යය. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයි. මේ දෙව්පුත් තෙමේ වනාහි පූර්‍වයෙහි මිනිස් වූයේ මනුෂ්‍ය දරිද්‍රයෙක් විය. මනුෂ්‍ය කෘපණයෙක් විය. මනුෂ්‍ය වරාකයෙක් විය. හෙ තෙමේ කාබුන් මරණින් මැති තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට, මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ ශරීර වර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.
මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු තෙමේ තව්තිසාවැසි දෙවියන් ඇමතීය: පින්වත්නි, තෙපි මේ දෙව්පුත්හට නින්‍දා නො කරවු. පින්වත්නි, මේ දෙව්පුත් තෙමේ පෙර මිනිස් වූයේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් විය. ශීලය සමාදන් විය. ශ්‍රැතය සමාදන් විය. ත්‍යාගය සමාදන් විය. ප්‍රඥාව සමාදන් විය. හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් ව ශීලය සමාදන් ව ශ්‍රැතය සමාදන් ව ත්‍යාගය සමාදන් ව ප්‍රඥාව සමාදන් ව කාබුන් මරණින් මැති තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට මනාගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ වර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.
මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු තෙමේ තව්තිසාවැසි දෙවියන් සතුටු කරමින් ඒ වෙලාවෙහි මේ ගාථාවන් කීය:
යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචල ව මැනවින් පිහිටියා ද, යමකුගේ යහපත් වූ ශීලය ආර්‍ය්‍යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,
යමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇත් ද, ඥානදර්‍ශනයත් ඍජු වූයේ වේ ද, ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය හිස් නො වේ.
එහෙයින් ප්‍රඥා තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද, ධර්‍මය දැකීම ද, අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ ය.
11. 2. 5.
රාමණෙය්‍යක සූත්‍රය
261. සැවැත්නුවර–
එකල්හි සක්දෙව්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, බිම පිළිබඳ සිත්කලු බව කිමෙක් දැ”යි මෙය සැළ කළේ ය.
[භගවත්හු:]
ආරාමචෛත්‍යයෝ ද, වනචෛත්‍යයෝ ද, මැනවින් නිමවන ලද පොකුණු ද මනුෂ්‍ය රමණියත්‍වය පිළිබඳ සොළොස් වැනි කලාවෙන් කලාවකුත් නො අගිත්.
ඉදින් ගම්හි හෝ වෙනෙහි හෝ ඉදින් වලබිම්හි හෝ ගොඩබිම්හි හෝ යම් තැනෙක රහත්හු වෙසෙත් ද , ඒ බිම සිත්කලු බව යි.
11. 2. 6.
යජමාන සූත්‍රය
262. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
පින් කැමති ව යාග කරන්නා වූ උපධිවිපාක ඇති පින් කරන්නා වූ මනුෂ්‍යප්‍රාණීන් විසින් කවර කෙනකුන්ට දෙන ලද්ද මහත්ඵල වේදැ යි.
[භගවත්හු:]
මාර්‍ගප්‍රතිපන්නයෝ සිවුදෙන ද, ඵලස්ථයෝ සිවුදෙන දැයි මේ (අෂ්ටාර්‍ය්‍යපුද්ගල) සඞ්ඝ තෙමේ ඍජු වූයේ ය. ප්‍රඥාශීලසමාධීන් යුක්ත ය.
පින් කැමති ව යාග කරන්නා වූ උපධිවිපාක ඇති පින් කරන්නා වූ මනුෂ්‍යප්‍රාණීන් විසින් ඒ සඞ්ඝයාහට දෙන ලද්ද මහත්ඵල වේ.
11. 2. 7.
වන්‍දනා සූත්‍රය
263. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණයට වැඩිසේක් පිළිසලන ඇති සේක. ඉක්බිති සක්දෙව් රජ ද සහම්පති බඹු ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ වෙන වෙන දොරබා ඇසුරු කොට සිටියහ. එකල්හි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය.