11. 2. 1.
දේවා [සත්තවතපද] සූත්‍රය
257. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක:
එහිදී ... භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්‍වතපද කෙනෙක් සමාත්තයහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් වූ බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමියේ ය.
කවර සත්‍වත පද කෙනෙක් ද? යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මිහිරිවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුවදන් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්‍යාග ඇත්තෙම්, දන් දෙනු පිණිස දෙවූ අත් ඇත්තෙම්, දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහිත් සංවිභාගයෙහිත් ඇලුනෙම්, දිවිහිමියෙන් පහවූ මසුරු මලින් යුත් සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සැබෑ තෙපුල් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙම් වන්නෙමි. ඉදිනුදු මට ක්‍රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යි. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙව්රජ විසින් මේ සත් ව්‍රතපදයෝ මොනවට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.
මවුපියන් පුස්නා කුලදෙටුවන් පුදන මෘදු ප්‍රිය තෙපුල් බණන කේලමින් වැළකුනු මසුරුමල දුරුකිරීමෙහි යෙදුනු සැබෑ තෙපුල් බණන ක්‍රෝධය මැඩලන සුලු ඒ මනුෂ්‍ය සත්ත්‍වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියත්.
11. 2. 2.
දෙවන දේවා [සත්තවතපද] සූත්‍රය
258. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ... මෙය වදාළ සේක.
මහණෙනි, සක්දෙව්රජ පෙර මිනිස් වූයේ මඝ නම් මාණවකයෙක් වී ය. එහෙයින් “මඝවන්තු” යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ පළමු පළමු දන් දිනි. එහෙයින් “පුරින්‍දද”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ සකස් කොට දන් දිනි එහෙයින් “සක්ක”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ආවාස දිනි. එහෙයින් “වාසව”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු අරුත් දහසකුදු මොහොතකින් සිතයි. (දකියි) එහෙයින් “සහස්සක්ඛ”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳුහට සුජා නම් අසුර කන්‍යාවක් පජාපති (බිරිඳ) ය. එහෙයින් “සුජම්පති” යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරයි. එහෙයින් “දේවානමින්‍ද” යී කියනු ලැබේ.
මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්‍වතපද කෙනෙක් මොනවාට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.
කවර සත්‍වතපද කෙනෙක් ද? යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මුදුවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුබස් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්‍යාග ඇත්තෙම්, පවිත්‍ර කරණ ලද අත් ඇත්තෙම්, දන් දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහි හා සංවිභාගයෙහි ද ඇලුනෙම්, දිවිහිමියෙන් පහ වූ මසුරුමල ඇති සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සබවස ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙකිම් වන්නෙමි. ඉදිනුදු මට ක්‍රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යි. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් මේ සත්‍වතපදයෝ මොනවට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.
මවුපියන් පුස්නා, කුලදෙටුවන් පුදන, මෘදුපියතෙපුල් බණන, පිසුණුබසින් වැළකුනු, මසුරුමල දුරු කිරීමෙහි යෙදුනු, සබවස් බණන, ක්‍රෝධය මැඩලන සුලු ඒ මනුෂ්‍ය සත්ත්‍වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියති.
11. 2. 3.
මහාලි [සත්තවතපද] සූත්‍රය
259. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩවසන සේක. එකල්හි මහාලි ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.