ඒ කවර හෙයින? යත්: මහණෙනි, අර්හත් වූ සම්මාසම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වනාහි පහ වූ රාග ඇත්තාහ. පහ වූ ද්වේෂ ඇත්තාහ. පහවූ මෝහ ඇත්තාහ. නොබානසුල්ල හ. නො තැතිගන්නා සුල්ලහ. ත්රස්තනොවන සුල්ලහ. පලානොයන සුල්ලහ. (එහෙයිනි.)
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත තෙල අන් ගාවැළ ද වදාළ සේක:
මහණෙනි, අරණ්යයෙහි දී හෝ රුක්මුල දී හෝ ශුන්යාගාරයෙහි දී හෝ බුදුරජානන් වහන්සේ සිහි කරන්නේ ය. (එවිට) තොපට බියෙක් නො වන්නේ ය.
ඉදින් ලෝකජේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ සිහි නො කරන්නහු නම්, එකල්හි නෛර්ය්යාණික වූ සුදේශිත වූ ධර්මය සිහි කරන්නේ ය.
ඉදින් නෛර්ය්යාණික වූ සුදේශිත වූ ධර්මය සිහි නො කරන්නහු නම්, එකල්හි නිරුත්තර පුණ්යක්ෂේත්ර වූ සඞ්ඝයා ද සිහි කරන්නේ ය.
මහණෙනි, මෙසේ බුදුරජානන් වහන්සේ ද, ධර්මය ද, සඞ්ඝයා ද සිහි කරන්නවුන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ නොවන්නේ ය යි.
11. 1. 4.
වේපචිත්ති සූත්රය
250. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. ... භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, පෙර වූ වක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයෙක් එක්තැන් වැද සිටියේ ය. මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු අසුරයන් ඇමතී ය: “භවත්නි, ඉදින් දේවාසුරසංග්රාමයක් එළඹ සිටි කල්හි අසුරයෝ දිනන්නාහු නම්, දෙවියෝ පරදින්නාහු නම්, ඒ සක්දෙවිඳු ගෙල පස් වැනි කොට ඇති බැඳුමෙන් බැඳ අසුරපුර මා වෙතැ ගෙණ එව”යි.
මහණෙනි, සක්දෙව් රජ ද තව්තිසා වැසි දෙවියන් ඇමතී ය:
පින්වත්නි, ඉදින් දේවාසුරසංග්රාමයක් එළඹ සිටි කල්හි දෙවියෝ දිනන්නාහු නම්, අසුරයෝ පරදින්නාහු නම්, ඒ වේපචිත්ති අසුරිඳු ගෙල පස් වැනි කොට ඇති බැම්මෙන් බැඳ සුධර්මා සභාවට මා වෙත ගෙණ එව යි.
මහණෙනි, ඒ යුද්ධයෙහි දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනහ. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුරිඳු ගෙල පස්වැනි කොට ඇති බැඳුමෙන් බැඳ සක්දෙවිඳු සමීපයෙහි සුධර්මා සභාවට ගෙණාහ.
මහණෙනි, එහිදී ගෙල පස්වැනි කොට ඇති බැඳුමෙන් බඳනා ලද වේපචිත්ති අසුරිඳු සුධර්මා සභාවට පිවිසෙන්නා වූ ද නික්මෙන්නා වූ ද සක්දෙවිඳු හට අසභ්ය වූ පරුෂ වචනයෙන් අක්රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි.
මහණෙනි, ඉක්බිති මාතලි රියදුරු තෙමේ සක්දෙව්රජහට ගාථායෙන් කී ය:
සක්දෙව්ඳුනි, වෙපචිත්තිහුගේ පරුස්බස් ඉදිරියෙහි අසමින් බියෙන් ඉවසහි ද? නොහොත් දුබල බැවින් ඉවසහි ද?
[සක්දෙවිඳු:]
මම වේපචිත්තිහුගේ (පරුස්බස්) බියෙන් නො ඉවසමි. දුබලබැවින් ද නො ඉවසමි. මා වැනි නුවණැත්තෙක් (එබඳු) බාලයකු හා කෙසේ නම් ප්රතිවිරූද්ධව සටන් කරන්නේ ද?
වළකන්නෙක් ඉදින් නො වන්නේ නම් අඥානයෝ බොහෝ සෙයින් බිඳෙන්නාහු ය. එහෙයින් නුවණැත්තේ දැඩි වූ දණ්ඩනයෙන් අඥානයා වළකන්නේ ය.
සතුරා ඉතා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, මම මේ සංසිඳීම ම අඥානයා වැළක්මවීම ය යි හඟිමි.
[මාතලි:]
මේ තෙමේ මට බියෙන් ඉවසා යයි අඥාන තෙමේ යම් කලෙක ඒ ඉවැසීම හඟී ද, සක්දෙවිඳුනි, ඉවසීම පිළිබඳ මේ දෝෂය ම දකිමි. පලා යන ගොණකු (යට කර ගෙණ යන) ගවමුළක් මෙන් නුවණ මඳ තැනැත්තේ බොහෝ සෙයින් (ඉවසන්නාහු) යට කර ගෙණ යයි.
[සක්දෙවිඳු:]
මේ තෙමේ මට බියෙන් ඉවසා යයි ඒකාන්තයෙන් හඟීවා හෝ, නො හඟීවා හෝ, සර්වාර්ත්ථයෝ ස්වාර්ත්ථය පරම කොට ඇත්තාහ. ඉවසීමට වඩා උතුම් අන්යාර්ත්ථයෙක් නැත.
යමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ ම දුබලයාට ඉවසා ද එය උතුම් ඉවසීම යයි කියත්. දුබල තෙමේ නිතර ඉවසයි.
අඥානබලය යමකුගේ බලය වේ ද, බලයක් නො වූ ම එය බල යයි කියත්. ධර්මයෙන් සංවෘත වූ (ක්ෂාන්ති) බලයට ප්රතිවක්තෘ වූවෙක් හෙවත් එය අබිබවා කියන්නෙක් නැත.
යමෙක් කිපියකුට පෙරළා කිපේ ද, එයින් ඔහුට ම නො යහපත වේ. කිපියහුට පෙරළා නො කිපෙන්නේ නො දිනිය හැකි වූ සටන දිනයි.
මෙරමා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, (හෙ තෙමේ) තමහට ද මෙරමාහට ද (යන) දෙපසට ම වැඩ සාදයි.