සිහි ඇත්තාහට හැමකල්හි යහපත වේ. සිහි ඇත්තේ සුවය වඩයි. සිහි ඇත්තහුගේ (ස්වාභාවය) හැමකල්හි ශ්රේෂ්ඨ ය. (එහෙත් එපමණකින්) වෛරයෙන් නො මිදේ.
යමෙකුගේ සිත මුළු රෑදෙවෙහි අහිංසාවෙහි ඇලුනේ ද, හෙ තෙමේ සියලු සත්වයන් කෙරෙහි මෛත්රිය වඩයි. ඕහට කිසිවකු හා වෛරයෙක් නැත.
10. 1. 5.
සානු සූත්රය
239. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා උවැසියකගේ සානු නම් පුතෙක් යකකු විසින් ගන්නා ලද්දේ වෙයි. ඉක්බිති ඒ උවැසිය හඬන්නී ඒ වෙලායෙහි මේ ගාථා කිවුය:
තුදුවක්හි ද පසළොස්වක්හි ද අඩමසක් පිළිබඳ වූ යම් අටවකෙකුදු වේ නම් එවක්හි ද ප්රාතිහාර්ය්යය පක්ෂයෙහි ද යම් කෙනෙක් අෂ්ටාඞ්ගයෙන් සමන්වාගත වූ පෙහෙවස් වෙසෙද්ද, බඹසර හැසිරෙද්ද,
යක්ෂයෝ ඔවුන් හා නො කෙළිති යන රහතුන්ගේ බස මා විසින් අසන ලදී. ඒ මම දන් දකිමි. සානු සමග යක්ෂයෝ කෙළිත්.
[යක්ෂයා:]
තුදුස්වක්හි ද පසළොස්වක්හි ද අඩමසක් පිළිබඳ යම් අටවකෙක් වේ නම් එදින ද ප්රාතිහාර්ය්ය පක්ෂයෙහි ද, යම් කෙනෙක් අෂ්ටාඞ්ගයෙන් සමන්වාගත වූ පෙහෙවස් වෙසෙද්ද බඹසර හැසිරෙද්ද,
ඔවුන් හා යක්ෂයෝ නො කෙළිති යන රහතුන්ගේ වදන තී විසින් අසන ලදී. මැනවි.
හමුවෙහි හෝ ඉදින් රහසෙහි හෝ පව්කම් නො කරව. යම් පව්කමක් කරන්නෙහි ද, (යම් පව් කමකුත්) කෙරෙහි ද, අහසට පැන නැඟී පලායන්නා වූ ද, තට ඒ දුකින් මිදීමෙක් නැත. මේ යකුන්ගේ වදනැයි පිබිදියා වූ සානුහට කියව.
[සානු:]
මෑනියනි, (මිනිස්සු) මළ එකකු නිසා හෝ හඬති. මෑනියනි, යමෙක් ජීවත්වන්නේ නො පැණේ නම් (ඔහු නිසා ද හඬති.) මෑනියනි, ජීවත් වන්නා වූ මා දකිමින් කුමක් හෙයින හඬව?
[උවැසි:]
පුත, මළ එකකු නිසා හෝ (මිනිස්සු) හඬති. යමෙක් ජීවත් වන්නේ (නමුත්) නො පෙණේ නම් (ඔහු නිසා ද හඬති) පුත, යමෙක් කාමයන් දුරු කොට (පැවිදි ව) නැවත මෙහි පැමිණේ නම් ඔහු නිසා ද හඬති. හෙ තෙමේ ජීවත් වන්නේ නමුත් මළේ ම ය.
පුත, හුණුඅළුනිරයෙන් ගොඩනගන ලද්දේ (නැවතත්) හුණුඅළු නිරයට වැටෙන්නට කැමැත්තෙහි ද? පුත, නිරයෙන් ගොඩ නගන ලද්දේ (නැවතත්) නිරයට වැටෙන්නට කැමැත්තෙහි ද?
යන්නේ මැනව. තොපට වැඩෙක් වේවා. කහට දොස් නගවමො ද? දැවෙන ගෙයින් නෙරපූ බඩු නැවත දවන්නට කැමැත්තෙහි ද?
10. 1. 6.
පියඞ්කර සූත්රය
240. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රෑ අලුයම් වේලෙහි නැඟිට දහම්පද බෙණෙති. ඉක්බිති පියඞ්කරමව වූ යකින්න කුඩාපුතු මෙසේ නැළවූවා ය.
පියඞ්කර, ශබ්ද නොකර, මහණ තෙමේ දහම්පද බෙණෙයි. ඉදින් දහම්පදයක් දැන පිළිපදිමු නම් (එය) අපට හිත පිණිස වන්නේ ය.
ප්රාණීන් කෙරෙහි සංයත වමු. දැන දැන මුසාබස් නො බෙණෙමු. තමන්ගේ පවිත්ර ශීලයෙහි හික්මෙමු. (එසේ කල්හි) යෙහෙක, පිසාචයෝනියෙන් මිදෙන්නමෝ වමු.
10. 1. 7.
පුනබ්බසු සූත්රය
241. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.