1. 7. 8.
පිහිත සූත්‍රය.
[දෙවි:]
68. ලොව කිමෙකින් වසන ලද්දේ ද? ලොව කිමෙක පිහිටියේ ද? ලොව කිමෙකින් එල්බුම් ලද්දේ ද? කිමෙකින් පිරිවරණ ලද්දේ ද?
[භගවත්හු:]
ලොව මරහු විසින් වසන ලද්දේ ය. ලොව දුකෙහි පිහිටියේ ය. ලොව තෘෂ්ණායෙන් එල්බුම් ලද්දේ ය. ජරායෙන් පිරිවරණ ලදේදේ ය.
1. 7. 9.
ඉච්ඡා සූත්‍රය
[දෙවි:]
69. ලොව කිමෙකින් බැඳේ ද? කුමක් දුරු කිරීමෙන් මිදේ ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී ද?
[භගවත්හු:]
ලොව තෘෂ්ණායෙන් බැඳේ. තෘෂ්ණාව දුර ලීමෙන් මිදේ. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී.
1. 7. 10.
ලෝක සූත්‍රය
[දෙවි:]
70. කුමක් හටගත් කල්හි ලොව හටගත්තේ වේ ද? කිමෙක සන්‍ථවය කෙරේ ද? ලොව කුමක් නිසා කිමෙක පෙළේ ද?
[භගවත්හු:]
ෂඩායතන හටගත් කල්හි ලොව හටගත්තේ වේ. ෂඩායතනයෙහි සන්‍ථවය කෙරේ. ෂඩායතන ම නිසා ෂඩායතනයෙහි ලොව පෙළේ.
අන්‍ව වර්‍ගය සත්වැනියි.
එහි උද්දානය:
නාම, චිත්ත, තණ්හා, සංයෝජන, බන්‍ධන, අබ්භාහත, උඩ්ඩිත, පිහිත, ඉච්ඡා, ලෝක ය යි ඒ සූත්‍ර දශයෙකි
8. ඣත්‍වා වර්‍ගය
1. 8. 1.
ඣත්‍වා සූත්‍රය
71. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
කුමක් නසා සුව සේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? ගෞතමයන් වහන්ස, කිනම් එක්දහමක්හුගේ නැසීම රුස්නෙහි ද?