1. 7. 2.
චිත්ත සූත්‍රය
[දෙවි:]
62. ලොව කිමෙකින් පමුණුවනු ලැබේ ද? කිමෙකින් අදනා ලැබේ ද? සියල්ලෝ ම කිනම් එක් දහමක්හුගේ වසයට ගියාහු ද?
[භගවත්හු:]
සිතින් ලොව පමුණුවනු ලැබේ. සිතින් අදනා ලැබේ. සියල්ලෝ ම සිත් නමැති මේ එක ම දහම්හුගේ වසයට ගියාහු ය.
1. 7. 3.
තණ්හා සූත්‍රය
[දෙවි:]
63. ලොව කිමෙකින් පමුණුවනු ලැබේ ද? කිමෙකින් අදනා ලැබේ ද? සියල්ලෝ ම කිනම් එක් දහමක්හුගේ වසයට ගියාහු ද?
[භගවත්හු:]
ලොව තෘෂ්ණායෙන් පමුණුවනු ලැබේ. තෘෂ්ණායෙන් අදනා ලැබේ. සියල්ලෝ ම තෘෂ්ණා නමැති මේ එක් දහම්හුගේ වසයට ගියාහු ය.
1. 7. 4.
සංයෝජන සූත්‍රය
[දෙවි:]
64. ලොව කුමක් බැඳුම් කොට ඇත්තේ ද? එහි පාද කිමෙක් ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් නිවණ යයි කියනු ලැබේ ද?
[භගවත්හු:]
ලොව රාගය බැඳුම් කොට ඇත්තේ ය. එහි පාද විතර්‍කයෝ යි. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් නිවණ ය යි කියනු ලැබේ.
1. 7. 5.
බන්‍ධන සූත්‍රය
[දෙවි:]
65. ලොව කුමක් බැඳුම් කොට ඇත්තේ ද? එහි පාද කිමෙක් ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී ද?
[භගවත්හු:]
ලොව රාගය බැඳුම් කොට ඇත්තේ ය. එහි පාද විතර්‍කයෝ යි. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී.
1. 7. 6.
අබ්හාහත සූත්‍රය
[දෙවි:]
66. ලොව කිමෙකින් ලුහුබඳනා ලද ද? කිමෙකින් පිරිවරණ ලද ද? කුමන හුලෙකින් බැස ගන්නා ලද ද? කිමෙකින් හැමකල්හි දුමන ලද ද?
[භගවත්හු:]
ලොව මරහු විසින් ලුහුබඳනා ලදී. ජරායෙන් පිරිවරණ ලදී. තෘෂ්ණාහුලෙන් බැස ගන්න ලදී. තෘෂ්ණායෙන් හැමකල්හි දුමන ලදී.
1. 7. 7.
උඩ්ඩිත සූත්‍රය.
[දෙවි:]
67. ලොව කිමෙකින් නඟන ලද්දේ ද? කිමෙකින් පිරිවරණ ලද්දේ ද? කිමෙකින් වසන ලද්දේ ද? ලොව කිමෙක පිහිටියේ ද?
[භගවත්හු:]
ලොව තෘෂ්ණායෙන් නඟන ලද්දේ ය. ජරායෙන් පිරිවරණ ලද්දේ ය. ලොව මරහු විසින් වසන ලද්දේ ය. ලොව දුකෙහි පිහිටියේ ය.
1. 7. 8.
පිහිත සූත්‍රය.
[දෙවි:]
68. ලොව කිමෙකින් වසන ලද්දේ ද? ලොව කිමෙක පිහිටියේ ද? ලොව කිමෙකින් එල්බුම් ලද්දේ ද? කිමෙකින් පිරිවරණ ලද්දේ ද?