1. 6. 5.
පඨමජනෙති සූත්‍රය
[දෙවි:]
55. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කිමෙක් ඔහුට මහත් බිය වේ ද?
[භගවත්හු:]
තෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. දුක ඔහුට මහත් බිය ය.
1. 6. 6.
දුතියජනෙති සූත්‍රය
[දෙවි:]
56. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කුමකින් නො මිදේ ද?
[භගවත්හු:]
තෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. දුකින් නො මිදේ.
1. 6. 7.
තතිය ජනෙති සූත්‍රය.
[දෙවි:]
57. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කිමෙක් ඔහුට පිහිට වේ ද?
[භගවත්හු:]
තෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. කර්‍මය ඔහුට පිහිට වෙයි.
1. 6. 8.
උප්පථ සූත්‍රය.
[දෙවි:]
58. කිමෙක් නොමග ය යි කියන ලද්දේ ද? කිමෙක් රෑ දාවල්හි ගෙවේ ද? බඹසරට කිලුට කිමෙක් ද? දිය නැති නෑම කිමෙක් ද?
[භගවත්හු:]
රාගය නොමග ය යි කියන ලද්දේ ය. වයස රෑ දාවල්හි ගෙවේ. ස්ත්‍රිය බඹසරට කිලුට ය. මේ සත්ත්‍වසමූහයා මෙහි ඇලේ. තපස ද බඹසර ද (යන) එය දිය නැති නෑමයි.
1. 6. 9.
දුතියා සූත්‍රය
[දෙවි:]
59. පුරුෂයාට කවරක් දෙවැන්නී වේ ද? කවරෙක් ඔහුට අනුශාසනා කෙරේ ද? කිමෙක මැනවින් ඇලුනු සත්ත්‍ව තෙමේ සියලු දුකින් මිදේ ද?
[භගවත්හු:]
ශ්‍රද්ධාව පුරුෂයාට දෙවැන්නී වේ. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරෙයි. නිවණෙහි මැනවින් ඇලුනු සත්ත්‍ව තෙමේ සියලු දුකින් මිදේ.
1. 6. 10.
කවි සූත්‍රය
[දෙවි:]
60. ගාථාවන්ට කිමෙක් මූලකාරණය වේ ද? කිමෙක් ඔවුන්ගේ අරුත් පවසා ද? ගාථාවෝ කුමක් ඇසුරු කොට පවතිද්? ද කවරෙක් ගාථාවන්ට පිහිට වේ ද?
[භගවත්හු:]
ඡන්‍දය ගාථාවන්ට නිදාන වේ. අකුරු ඔවුන්ගේ අරුත් පවසයි. ගාථාවෝ සංඥාවන් ඇසුරු කොට පවතිත්. කවි තෙමේ ගාථාවන්ට පිහිට වේ.
ජරා වර්‍ගය සවැනියි.
එහි උද්දානය:
ජරා, අජරසා, මිත්ත, වත්‍ථු සූත්‍රය, ජනෙති සූත්‍ර තුනය, උප්පථ සූත්‍රය, දුතියාසූත්‍රය, කවි සූත්‍රය යන මෙයින් වර්‍ගය පිරුණේ වේ.