1. 6. 1.
ජරා සූත්රය
51. සැවැත් නුවර –
[දෙවි:]
ජරාව තෙක් කුමක් මැනවි ද? කිමෙක් පිහිටියේ මැනවි ද? මිනිසුන්ට කුමක් රුවන වේ ද? සොරුන් විසින් කුමක් පැහැර නොගතහැකි වේ ද?
[භගවත්හු:]
ජරාව තෙක් ශීලය මැනවි. ශ්රද්ධාව පිහිටියා මැනවි. මිනිසුන්ට ප්රඥාව රුවන වේ. පින සොරුන් විසින් පැහැර නොගතහැකි වේ.
1. 6. 2.
අජරසා සූත්රය
[දෙවි:]
52. නොදිරීමෙන් කුමක් මැනවි ද? කිමෙක් (ස්වසන්තානයෙහි) පිහිටියේ මැනවි ද? මිනිසුන්ට කුමක් රුවන වේ ද? කිමෙක් සොරුන් විසින් පැහැර නොගතහැකි වේ ද?
[භගවත්හු:]
නොදිරීමෙන් ශීලය මැනවි. ශ්රද්ධාව පිහිටියා මැනවි. ප්රඥාව මිනිසුන්ට රුවන වේ. පින සොරුන් විසින් පැහැර නොගතහැකි වේ.
1. 6. 3.
මිත්ත සූත්රය.
[දෙවි:]
53. බැහැර වසන්නහුට මිත්රයා කවරෙක් ද? සිය ගෙහි මිත්රයා කවරෙක් ද? කටයුතු ඇත්තහුට මිත්රයා කවරෙක් ද? පරලොව මිත්රයා කවරෙක් ද?
[භගවත්හු:]
බැහැර වසන්නහුට සාත්තුව (තවලම) මිතුරා ය. සියගෙහි මිතුරා මව ය. කටයුතු ඇත්තහුට යහළුවා නැවත නැවත මිතුරා වෙයි. තමා විසින් කරණ ලද පින් ඒ පරලොව මිතුරා වෙයි.
1. 6. 4.
වත්ථු සූත්රය
[දෙවි:]
54. මිනිසුන්ට කුමක් පිහිට වේ ද? මෙහි උතුම් යහළුවා කවරෙක් ද? පොළොව ඇසුරු කළ යම් ප්රාණීහු වෙත් නම් (ඒ) සත්ත්වයෝ කුමක් ඇසුරු කොට ජීවත් වෙද්ද?
[භගවත්හු:]
54. පුත්රයෝ මිනිසුන්ට පිහිට වෙත්. බිරිය ම උතුම් යහළු ය. පොළොව ඇසුරු කළ යම් ප්රාණීහු වෙත් නම් ඒ සත්ත්වයෝ වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.
1. 6. 5.
පඨමජනෙති සූත්රය
[දෙවි:]
55. කවරෙක් සත්ත්වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කිමෙක් ඔහුට මහත් බිය වේ ද?
[භගවත්හු:]
තෘෂ්ණාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්වයා සසරට පැමිණියේ ය. දුක ඔහුට මහත් බිය ය.
1. 6. 6.
දුතියජනෙති සූත්රය
[දෙවි:]
56. කවරෙක් සත්ත්වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කුමකින් නො මිදේ ද?
[භගවත්හු:]
තෘෂ්ණාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්වයා සසරට පැමිණියේ ය. දුකින් නො මිදේ.
1. 6. 7.
තතිය ජනෙති සූත්රය.
[දෙවි:]
57. කවරෙක් සත්ත්වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කිමෙක් ඔහුට පිහිට වේ ද?
[භගවත්හු:]
තෘෂ්ණාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්වයා සසරට පැමිණියේ ය. කර්මය ඔහුට පිහිට වෙයි.