1. 3. 6.
පජ්ජෝත සූත්රය
26. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යමෙකින් ලොව බබළා නම් (එබඳු) එළි ලොව කෙතෙක් ද? භාග්යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවත්හු:]
ලොව එළි සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. හිරු දවල් බබලයි. සඳු රෑ බබලයි. තව ද, ගින්න දිවා රෑ දෙකෙහි ඒ ඒ තැන බබලයි. සර්වඥයන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්රේෂ්ඨයහ. මේ ආලෝකය නිරුත්තර යි.
1. 3. 7.
සර සූත්රය
27. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථා යෙන් කී ය:
සංසාර ප්රවාහයෝ කොහි නවතිද්ද? සසරවැසි කොහි නො වසී ද? නාමයත් රූපයත් කොතැන්හි නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද?
[භගවත්හු:]
යම් තැනක අපෝ ධාතුවත් පඨවි ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් නො පිහිටා ද මෙහි සංසාරප්රවාහයෝ නවතිත්. මෙහි සසරවැසි නො වසී. මෙහි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ යි.
1. 3. 8.
මහද්ධන සූත්රය
28. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මහත්ධන ඇති මහත්භෝග ඇති රටවල් ඇති ක්ෂත්රියයෝ ද කාමයන්හි සෑහීමකට නො පැමිණියාහු ඔවුනොවුන් සැපත පතත්.
ඔවුන් (කාමයන්හි) උත්සාහවත් වූ කල්හි භවස්රෝතස අනු ව යන කල්හි මේ ලෝකයේ කවුරු තෘෂ්ණාව දුරු කළාහු ද? ලෝකයෙහි කවුරු (කාමයන්හි) උත්සාහ රහිත වූවාහු ද?
ඔවුන් (කාමයන්හි) උත්සාහවත් වූ කල්හි භවස්රෝතස අනු ව යන කල්හි මේ ලෝකයේ කවුරු තෘෂ්ණාව දුරු කළාහු ද? ලෝකයෙහි කවුරු (කාමයන්හි) උත්සාහ රහිත වූවාහු ද?
[භගවත්හු:]
ගිහිගෙය හැර ප්රිය වූ දරුවන් ද සිවුපාවුන් ද හැර පැවිදි වූ රාගයත් ද්වේෂයත් දුරු කොට අවිද්යාවත් නසා (සිටි) ක්ෂීණාස්රව වූ ඒ රහත්හු ලෝකයෙහි (කාමයන් සෙවීමෙහි) උත්සාහ රහිතයෝ ය.
1. 3. 9.
චතුචක්ක සූත්රය
29. සැවැත්නුවර–
[දෙවි:]
මහාවීරයන් වහන්ස, (මේ ශරීරයානය) සක් සතරක් ඇත්තේ ය. නව දොරක් ඇත්තේ ය. (අශුචියෙන්) පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපන. එහි නික්ම යෑම මෙසේ වන්නේ ද?
[භගවත්හු:]
රැහැන ද වරපට ද ලාමක ඉච්ඡාව ද ලෝභය ද සිඳ තෘෂ්ණාව සහමුලින් උදුරා (ලීමෙන්) මෙසේ නික්ම යෑම වන්නේ යි.