1. 3. 1.
සත්තී සූත්රය
21. සැවැත්නුවර -
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සැතෙකින් පහර ලද්දෙකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ කාමරාග ප්රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
[භගවත්හු:]
සැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද මහණ තෙමේ සත්කායදෘෂ්ටි ප්රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
1. 3. 2.
ඵුසති සූත්රය
22. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
කර්මය නො පහස්නහු විපාකය තෙමේ ස්පර්ශ නො කෙරෙයි. එහෙයින් කර්මය පහස්නහු විපාකය තෙමේ ස්පර්ශ කරන්නේ ය. එහෙයින් නිදොස් පුඟුලන්ට ද්වේෂ කරණ කර්මය පහස්නහු විපාකය තෙමේ ස්පර්ශ කෙරෙයි.
[භගවත්හු:]
යමෙක් නිදොස් වූ පිරිසිදු වූ කෙලෙස් නැති පුද්ගලයකුට ද්වේෂ කෙරේ ද, ඒ පාපය තෙමේ උඩුසුලඟට දැමූ සියුම් රජසක් මෙන් ඒ බාලයා කරා ම පෙරළා එයි.
1. 3. 3.
ජටා සූත්රය
23. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
ඇතුළත අවුල් ය. පිටත අවුල් ය. සත්ත්ව ප්රජාව අවුලෙන් වේළුනී ය. එහෙයින් ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැ යි? එකරුණ පුළුවුස්මි.
[භගවත්හු:]
පිළිසඳනුවණ ඇති කෙලෙස් තවන වෙර ඇති තීරණප්රඥායෙන් යුත් සසර බිය දක්නාසුලු ඒ සත්ත්ව තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්රඥාව වඩමින් මේ අවුල නිරවුල් කරන්නේ යි.
යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්යාවත් දුරු කරණ ලද්දාහු ද, (ඔහු) ක්ෂීණාස්රව රහත්හු ය. ඔවුන් විසින් තෘෂ්ණා නමැති අවුල නිරවුල් කරණ ලදී.
යම් තැනෙක නාමයත් රූපයත් ප්රතිඝයත් රූපසංඥාවත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙද්ද. මෙහි මේ තෘෂ්ණා නමැති අවුල සිඳේ යි.
1. 3. 4.
මනෝනිවාරණ සූත්රය
24. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යමෙකින් යමෙකින් සිත වළකන්නේ ද? එයින් එයින් ඔහුට දුක් නො පැමිණෙයි. හෙතෙමේ සියල්ලෙන් සිත වළකන්නේ නම් හෙතෙමේ සියලු දුකෙන් මිදෙයි.
[භගවත්හු:]
සියල්ලෙන් සිත නො වළකන්නේය. සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය. යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි.
1. 3. 5.
අරහන්ත සූත්රය
25. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය: