1. 1. 8.
සුසම්මුට්ඨ සූත්රය
8. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යම් කෙනෙකුන්ගේ (චතුස්සත්ය) ධර්මයෝ වෙසෙසින් නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි පමුණුවනු ලැබෙත්. ඔහු නිදි ගත්තාහු නො පුබුදිත්. ඔවුන්ට පිබිදීමට මේ කාලය යි.
[භගවත්හු:]
යම් කෙනෙකුන්ගේ (චතුස්සත්ය) ධර්මයෝ නො නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි නොපමුණුවනු ලැබෙත්. (සර්වඥබුද්ධාදි) බුදුවරු මැනවින් දැන විෂම ලෝකයෙහි සම ව හැසිරෙත් යී.
1. 1. 9.
නමානකාම සූත්රය
9. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
මෙහි මානය කැමැත්තහුට දමයෙක් (=හිතෙහි සන්හුන් පැවැත්මෙක්) නැත. සමාධියක් නැත්තහුට මෞනයෙක් (සිවුමග නුවණෙක්) නැත. වනයෙහි හුදකලා ව ප්රමත්ත ව වෙසෙන්නේ සසර පරතෙරට හෙවත් නිවණට නො පැමිණෙන්නේ ය.
[භගවත්හු:]
මානය දුර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්රමත්ත ව හුදකලා ව වෙනෙහි වෙසෙන හෙතෙමේ සසර පරතෙරට පැමිණෙන්නේ යී.
1. 1. 10.
අරඤ්ඤ සූත්රය
10. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථාවෙකින් සැළ කෙළේය:
වෙනෙහි වසන එක්වේලේ අහර වළඳන ශාන්තබ්රහ්මචාරීන්ගේ වර්ණය කවරහෙයෙකින් පහදී ද?
[භගවත්හු:]
ඉකුත් දෑ ගැණ ශෝක නො කෙරෙති. නො ලත් දෙය නො පතති. පවත්නා දෙයින් යැපෙත්. එයින් ශරීරවර්ණය පහදී.
නො ලත් දෙය පැතීමෙන් හා ඉකුත් දෑ ගැණ ශෝක කිරීමෙන් දැයි යන මෙයින් බාලයෝ සිඳින ලද නිලිගත් බටදඬක් සෙයින් වියලෙත්යි.
නළ වර්ගය පළමු වැනියි.
එහි සූත්රනාමාවලිය:
ඕඝතරණ, නිමොක්ඛ, උපනීයති, අච්චෙන්ති, කතිජින්ද, ජාගර, අප්පටිවිදිත, සුසම්මුට්ඨ, නමානකාම, දස වැනි වූ අරඤ්ඤ සූත්රය යි එයින් පළමු වන වර්ගය කියනු ලැබේ.
2. නන්දන වර්ගය
1. 2. 1.
නන්දන සූත්රය
11. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂුහු ‘පින්වතුන් වහන්සැ’ යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, පෙර වූවක් කියමි. තව්තිසා වැසි එක්තරා දෙවියෙක් දිවසරන් විසින් පිරිවරණ ලදුයේ දිව්යපඤ්චකාම සම්පත්තියෙන් සමන්විත වූයේ ඉඳුරන් පිණවන්නේ ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
යම් කෙනෙක් පිරිවර ඇති තව්තිසා වැසි දෙවියන්ගේ වාසස්ථාන වූ නදුනුයන නො දකිද්ද? ඔහු සැපය නො දනිත්.
මහණෙනි, මෙසේ කී කල්හි එක්තරා දෙවියෙක් ඒ දෙවියාට ගාථාවකින් පිළිතුරු දුන්නේ ය:
බාලය, තෝ “සියලු සංස්කාරය අනිත්යයහ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සන්හිඳීම සැප ය” යන රහතුන් වදන ලෙස නො දන්හියි.