1. 1. 6.
ජාගර සූත්‍රය
6. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
(කීදෙනකුන්) නිදි වරද්දී කීදෙනෙකු නිදි ගත්තාහු වෙත් ද? (කීදෙනකුන්) නිදද්දී කීදෙනෙක් නිදිවරන්නෝ වෙත් ද? කෙතෙකින් (කෙලෙස්) රජස් ගණි ද? කෙතෙකින් පිරිසිදු වේ ද?
[භගවත්හු:]
පස් දෙනෙකුන් නිදි වරද්දී පස්දෙනෙකුන් නිදිගත්තාහු වෙත්. පස්දෙනකුන් නිදද්දී පස්දෙනෙක් නිදි වරන්නෝ වෙත්. පසෙකින් කෙලෙස් රජස් ගණී. පසෙකින් පිරිසිදු වේ යි.
1. 1. 7.
අප්පටිවිදිත සූත්‍රය
7. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යම් කෙනෙකුන් විසින් (චතුස්සත්‍ය) ධර්‍මයෝ අවබෝධ නොකරණ ලද්දාහු ද? (ඔහු) පරවාදයන්හි පමුණුවනු ලබත් ද? නිදිගත්තා වූ ඔහු නුපුබුදිත්. ඔවුන්ට පිබිදීමට මේ කාලය යි.
[භගවත්හු:]
යම් කෙනෙකුන් විසින් (චතුස්සත්‍ය) ධර්‍මයෝ අවබෝධ කරණ ලද්දාහු ද? (ඔහු) පරවාදයන්හි නො පමුණුවනු ලබත්. (සර්‍වඥාබුද්ධාදි) බුදුවරයෝ මනා කොට දැන විෂම ලෝකයෙහි සම ව හැසිරෙත්.
1. 1. 8.
සුසම්මුට්ඨ සූත්‍රය
8. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යම් කෙනෙකුන්ගේ (චතුස්සත්‍ය) ධර්‍මයෝ වෙසෙසින් නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි පමුණුවනු ලැබෙත්. ඔහු නිදි ගත්තාහු නො පුබුදිත්. ඔවුන්ට පිබිදීමට මේ කාලය යි.
[භගවත්හු:]
යම් කෙනෙකුන්ගේ (චතුස්සත්‍ය) ධර්‍මයෝ නො නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි නොපමුණුවනු ලැබෙත්. (සර්‍වඥබුද්ධාදි) බුදුවරු මැනවින් දැන විෂම ලෝකයෙහි සම ව හැසිරෙත් යී.
1. 1. 9.
නමානකාම සූත්‍රය
9. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
මෙහි මානය කැමැත්තහුට දමයෙක් (=හිතෙහි සන්හුන් පැවැත්මෙක්) නැත. සමාධියක් නැත්තහුට මෞනයෙක් (සිවුමග නුවණෙක්) නැත. වනයෙහි හුදකලා ව ප්‍රමත්ත ව වෙසෙන්නේ සසර පරතෙරට හෙවත් නිවණට නො පැමිණෙන්නේ ය.
[භගවත්හු:]
මානය දුර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්‍රමත්ත ව හුදකලා ව වෙනෙහි වෙසෙන හෙතෙමේ සසර පරතෙරට පැමිණෙන්නේ යී.