කර්මස්ථාන ප්‍රදීපය - යෝගාශ්‍රම සංස්ථාව.pdf

typed 2021

ප්‍රකාශිත වර්ෂය :
2022
මුද්‍රිත වර්ෂය :
2022
පිටු ගණන :
472
බාගත කිරීම් ගණන :
1,111
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-11-13
ගොනුවේ ප්‍රමාණය :
2.7 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 237

කර්මස්ථාන ප්‍රදීපය යනු ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව මගින් සම්පාදනය කොට නිකුත් කරන ලද සතලිස් කර්මස්ථානයන් අලළා සකස් වූ උපදෙස් සංග්‍රහයකි. ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සම සතලිස් වර්ෂ පූර්ණය නිමිත්තෙන් මෙම ග්‍රන්ථය සංස්ථාවේ ආදිකර්තෘන් වහන්සේලා වන මාතර ශ්‍රී ඥානාරාම මහනාහිමිපාණන් හා කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහනාහිමිපාණන් වෙත උපහාර පිණිස පිළිගන්වා ඇත.

සමථ හා විදර්ශනා භාවනා වඩන යෝගාවචරයන්ගේ ප්‍රයෝජනය සඳහා කලින් කලට නිකුත් කෙරුණු භාවනා උපදේශ පත්‍රිකා විස්සක් මෙහි අන්තර්ගත වන අතර, විසුද්ධිමාර්ගය හා ත්‍රිපිටක අටුවා සම්ප්‍රදායයන්ට අනුකූලව කමටහන් වැඩීමේ ක්‍රමවේද පැහැදිලි කර දී ඇත. නා උයනේ අරියධම්ම ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි පෙරවදන සපයා ඇත.

මෙහි ප්‍රධාන වශයෙන් භාවනා උපදේශ පත්‍රිකා 20ක් මගින් සම සතලිස් කර්මස්ථාන හා විදර්ශනා භාවනා ක්‍රම සවිස්තරව විස්තර කර ඇත.

පිළිගැන්වීම

ශ්‍රීමත් ගෞතම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේට සහ තත් සංස්ථා සමුත්පාදක ප්‍රධාන අනුශාසක අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මාහිමිපාණන් වහන්සේට ද ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට සම සතලිස් වර්ෂය පිරීම නිමිත්තෙන් සම සතලිස් කර්‍මස්ථානයන්ගේ සම්පිණ්ඩනයක් වන ‘කර්‍මස්ථාන ප්‍රදීපය’ ග්‍රන්ථය අත්‍යන්ත ගෞරවයෙන් පිළිගැන්වේ.

“සතං සමාගමො හොතු - යාව නිබ්බාන පත්තියා”

පෙරවදන

“චිරං තිට්ඨතු ලොකස්මිං - සම්මා සම්බුද්ධ සාසනං, තස්මිං සගාරවා නිච්චං - හොන්තු සබ්බෙපි පාණිනො” (ආචාර්ය බදරතිර්ථවාසි ධම්මපාල මාහිමි)

“සම්මා සම්බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් ලෝ තුල පවතීවා! සියලු ම සත්ත්වයෝ සෑම කල්හි බුදුසසුනෙහි ගෞරව සම්ප්‍රයුක්තව නිරතුරුව යෙදෙත්වා!” - යනු ගාථාවේ තේරුම ය.

අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මාහිමියන් වහන්සේගේ සමුත්පාදකත්වයෙන් හා අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේගේ ප්‍රධානාචාර්යත්වයෙන් ආරම්භකොට පවත්වාගෙන එන ලද ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව මගින් නිකුත් කරන ලද කර්‍මස්ථාන ප්‍රදීපය නමැති මහාර්ඝ භාවනා ග්‍රන්ථය දෙවැනි වරට මුද්‍රණය කරවා ධර්මදාන වශයෙන් ප්‍රදානය කරනුයේ මහගල්කඩවල සත්ගුණවත් බී. එම්. ගුණරත්නහාමි බණ්ඩාරනායක මහත්මාණන් ප්‍රධාන පරිත්‍යාගශීලී දායක සමූහය විසින් සුවසේ ධර්මාවබෝධය වීම පිණිස නිශ්ශරණාධ්‍යාශයෙනි.

පළමුවරට පොත මුද්‍රණය සඳහා දායකත්වය හා අනුග්‍රහය දැක්වූ සියලු දෙනාගේ නාමලේඛනය ද පොතේ අගට යොදා ඇත්තේ කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙනි. දෙවැනි වරට මෙය මුද්‍රණය කරවා ධර්මදානය සිදුකළ සත්ගුණවත් බී.එම්. ගුණරත්නහාමි බණ්ඩාරනායක මහත්මාණන් ප්‍රධාන අනුග්‍රාහක සියලු දෙනාට ම සුවසේ ධර්මාවබෝධයෙන් ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා!

“සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”

මෙයට මෙත්සිති,
නා උයනේ අරියධම්ම ස්ථවිර
නා උයන අරණ්‍ය සේනාසනය
පන්සියගම.

පුණ්‍යානුමෝදනාව

‘කර්‍මස්ථාන ප්‍රදීපය’ නම් වූ මෙම වටිනා පොත් වහන්සේ නැවත මුද්‍රණය සඳහා දායක වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සහ පින්වත් දායක භවතුන් සියලු දෙනා හට මෙම උතුම් ධර්මදානමය කුසලය, කෙටි ම මඟකින්, සුඛ ප්‍රතිපදාවෙන්, සතර පද ගාථාවකින් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන් අවබෝධකොට ගෙන, වහ වහා සසර ගමන කෙළවර කරගැනීම පිණිස ම හේතු වේවා..!

හඳුන්වාලීම

“පටිපත්තියං ඨිතො ධීරො - යොගක්ඛෙමං න ධංසති” (මනොරථපූරණී - 53 පිට)

“පිළිවෙතෙහි පිහිටි ප්‍රාඥයා යෝගක්ෂේම නම් වූ නිවන කෙරෙන් නො පිරිහෙයි.”

සම්බුද්ධ ශාසන සම්පත්තිය දුර්ලභ ය. එය අතිශය දුකින් හමුකර ගත යුතු වන්නේ ය. නිවන් අරමුණුකොටගත් සන්තානයෙක්හි පැළපදියන් කරගත් චරණ සම්ප්‍රදායෙක බලයෙන් ම ඒ දුර්ලභ ශාසන සම්පත්තියට හිමිකම් සළසා ගත හැකි වන්නේ ය.

මෙම ශ්‍රේෂ්ඨ ශාසන සම්පත්තිය වනාහි ශීල-සමාධි-ප්‍රඥා යන ධර්‍ම තුනෙන් හකුළුවා දැක්විය හැක්කේ ය. මෙම උත්තරීතර වූ ධර්‍මකොටස් තුනට අයත්වන කාර්‍ය්‍යාංශ, පරියත්ති-පටිපත්ති-පටිවේධ යන නම් තුනෙන් හඳුන්වාදෙන ලද බව ප්‍රසිද්ධ ය.

එහි පරියත්ති නම්, සසුන් තුළ සැදැහැ ගුණය මෝරවමින්, ලාභ-යසසාදියට දාස නොවී, තමාගේ මෞලික ප්‍රතිඥාවට තුඩුදෙන ආකාරයෙන්, නිස්සරණ අදහසින් සම්බුද්ධ දේශිත ධර්‍මය උගැනීම ය.

පටිපත්ති නම්, එසේ උගත් ධර්‍මයන් ක්‍රමයෙන් ක්‍රියාවට නංවාලීම ය; ස්වසන්තානයෙහි ම පුරුදු කිරීම ය. මෙහි දී පළමුව සීලය හැම අංශයකින් ම තෝරා-බේරාගෙන පුහුණු කළයුතු වන්නේ ය. මීළඟට සුදුසු භාවනා කමටහනක් ගෙන චිත්ත සමාධිය වැඩිය යුතු වන්නේ ය. හිත හොඳින් සමාහිත වූ කල්හි විදර්ශනා වඩා ප්‍රඥාව ඉපිදවිය යුතු වන්නේ ය. පටිපදඤාණදස්සන විසුද්ධිය සම්පූර්ණවන තුරු පහළ වන ලෞකික විදර්ශනා ප්‍රඥාවන් පටිපත්තියට අයත් වන්නේ ය.

පටිවේධ නම්, එසේ පටිපත්තිය මුදුන්පත් වීමේ නිසගී ඵලය වශයෙන් පහළ වන්නා වූ ලෝකෝත්තර ඥාන දර්ශනය හෙවත් චතුරාර්‍ය්‍ය සත්‍යය විනිවිද දැකීමයි.