දහම්සොඬකව - අලගියවන්න මුකවෙටිතුමා.pdf

කතෘ :
අලගියවන්න මුකවෙටි
ප්‍රකාශිත වර්ෂය :
1934
මුද්‍රිත වර්ෂය :
1934
පිටු ගණන :
144
බාගත කිරීම් ගණන :
1,204
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-04-07
ගොනුවේ ප්‍රමාණය :
23 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 73

දහම්සොඬකව යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට කවියෙකු වූ අලගියවන්න මුකවෙටිතුමන් විසින් සීතාවක යුගයේ දී රචිත පද්‍ය කාව්‍යයකි. බෝධිසත්ත්වයන් වහන්සේ දහම්සොඬ රජුව ඉපිද ධර්මය ශ්‍රවණය කිරීම පිණිස කළ උතුම් පරිත්‍යාගය හෙවත් ආත්ම පරිත්‍යාගය මෙම කෘතියට වස්තු විෂය වී ඇත. මෙහි සම්පූර්ණ කාව්‍ය සංඛ්‍යාව 163 කි.

මෙම මුද්‍රණය පූජ්‍ය වැලිවිටියේ සෝරත ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත විස්තරාත්මක පරිකථාවක් (ව්‍යාඛ්‍යානයක්) සහිතව සකස් කරන ලද දෙවන මුද්‍රණයයි. ග්‍රන්ථයෙහි ප්‍රස්තාවනාවෙහි කාව්‍යයේ කර්තෘත්වය, කාල වකවානුව සහ එහි සාහිත්‍යමය අගය පිළිබඳ විද්වත් විවරණයක් අඩංගු වන අතර, එක් එක් පද්‍යය සඳහා අන්වය, පදගත අර්ථ, වියරණ විවරණ මෙන්ම ධාතු ප්‍රකෘති ආදිය පැහැදිලි කර ඇත.

කොළඹ හුණුපිටියේ ජිනාලංකාර යන්ත්‍රාලයෙහි 1934 දී (බු.ව. 2478) ඩී. ඩබ්ලිව්. සමරනායක මහතා විසින් මෙම සංස්කරණය දෙවැනිවරට මුද්‍රණය කරවා පළකර ඇත.

ප්‍රස්තාවනා.

ග්‍රන්ථයක් පිළිබඳ ව පරිකථාකරණාවසරයෙහි සංඥා, නිමිත්ත, කර්තෘ, ප්‍රමාණ, ප්‍රයෝජන යන අධිකරණය ද විභජනය කට යුතු ය යනු පෙරුදුරන්ගේ නියමය හෙයින් මේ ග්‍රන්ථය පිළිබඳ ව කරණු ලබන පරිකථාවගේ ප්‍රමුඛයෙහි යථොක්ත අධිකරණය හා තදනුකූල වූ වෙනත් කරුණුත් සැකෙවින් දක්වම්හ. ඔවුන්තුරෙන්—

I. “සංඥා” නම් විශේෂසංඥා සාමාන්‍යසංඥා යයි දෙවැදෑරුම් වූ නාමයයි. මේ ග්‍රන්ථයට වනාහි විශේෂසංඥාවක් ඇති බවෙක් නො පෙනේ. සාමාන්‍යසංඥා වශයෙන් ‘දහම්සොඬකව’ යනු ද, ‘දහම්සොඬදවස’ යනු ද ප්‍රසිද්ධ ය. එයින් වැඩිදෙනා අතර ප්‍රසිද්ධ හෙයින් පළමුවැන්න අප විසින් ද මෙහි යොදනලදී. දහම්සොඬවන බුද්ධාභාෂිතයක් නොවන හෙයින් ද ජාතකපාළියෙහි නො ආබැවින් ද ඊට ජාතකනාමය නො යෙදේ යයි සමහරු සිතති. එහෙත් බුද්ධාභාෂිත නුවූ, මහ රහතුන් විසින් දෙසනලද මහාබොධිසත්ත්වචරිතයන්ට ජාතකනාමය පුරාතනයන් ව්‍යවහාර කළබව ජාතකමාලාදියෙහි ව්‍යාඝ්‍රීජාතාකාදියෙන් පෙනේ. මහාවංශයෙහි 97 වන පරිච්ඡේදයෙහි ශ්‍රීපරාක්‍රමනරෙන්ද්‍රසිංහ රජයන් විසින් කළ පින්කම් වැණුමෙහි දහම්සොඬ වන ද ජාතකසඞ්ඛ්‍යාවෙහි ලා ගිණූහ. මෙසේ සර්වඥභාෂිත නුවූවත් බොධිසත්ත්වචරිතයන්ට ‘ජාතක’ නාමය යෙදුනු හෙයින් ‘දහම්සොඬදවස’ යන්න සාවද්‍ය නො වේ. ‘දහම්සොඬකව’ යන්න ද “සෝ‍යන්දරනන්දකාව්‍ය” යනාදි නාමයන් වැනි හෙයින් නිරවද්‍ය ය. ‘දහම්සොඬහු නිසා කළ කව’ යනු අර්ථයි.

II. අනන්තර බාහ්‍යවශයෙන් දෙවදෑරුම් වූ නිමිත්තයන් අතුරෙන් සමරදිවාකරමුකවෙටි මන්ත්‍රීවරයාගේ ආරාධනය මේ ග්‍රන්ථකරණයෙහි බාහ්‍යනිමිත්ත විය. ධර්‍මශාස්ත්‍ර උද්ග්‍රහණ ධාරණයෙහි අලස වූ සුකුමාර මතින් විෂයයෙහි පැවැති කරුණාව අභ්‍යන්තර නිමිත්ත ය.

III. මේ ග්‍රන්ථයෙහි කර්තෘ අලගියවන්නමුකවෙටිතුමා ය. ඒ බව මේ ග්‍රන්ථයාගේ අවසානයෙහි පෙනෙන කවිවලින් හැඟේ. මෙතුමන්ගේ ග්‍රාමය සිනාකෝරලයේ ගඟබඩපත්තුවේ බඳ හිස්සැල්ල ය. එතුමාගේ පිතා වූ ධර්‍මධ්වජ පණ්ඩිතවරයන් විසින් මේ ග්‍රන්ථය කරනලදැයි ඇතැම්හු කියත්. ඒ භවතුන්ගේ එකී මතයට පිහිටා තිබෙන්නේ එලෙස පවත්නා ජනප්‍රවාදයත් හා ඇතැම් පුස්කොළ පිටපත්හි කර්තෘනාමසඟීත පද්‍යයන් ගිලිහී තිබීමත් මෙහි හා කුශජාතකකාව්‍යයෙහි සමානපද්‍යයන් දක්නට ලැබීමත් යන මේ කරුණු යි.

මේ එකක් වත් ඒ මතය ස්ථිර කර ලීමෙහි පොහොසත් නො වේ. මෙබඳු ජනප්‍රවාද සත්‍ය වන්නේ ඉතාමත් කලාතුරෙකිනි. අමාවතුර නම් වූ බුත්සරණ ගුරුළුගොමිහුගේ බුහුනණිකෙනෙකුන් විසින් කරනලදැයි ජනප්‍රවාදයක් පැවැත්තේ ය. කරුණු පරීක්ෂා කළ කල්හි එ ම කථාව අතිශයඅසත්‍යයක් බව හෙලි විය. එසේ ම දහම්සොඬදවස පිළිබඳ ව පවත්නා ජනප්‍රවාදය ද හැඳහිය නො හැක්කකි. දහම්දද, දහම්සොඬ යන නම් දෙකෙහි ඇති සමානත්වය මේ ජනප්‍රවාදය ඉපදීමට හේතු වී යයි සැලකිය හැක.

කර්තෘනාමසඞ්ගීතපද්‍යයන් සමහර පොත්වල නො පෙනීම මේ පොත ධර්‍මධ්වජ පණ්ඩිතවරයාගේ යයි නිශ්චය කිරීමට සාධකයෙක් නො වේ. එක පිටපතෙක වත් ඒ පද්‍ය තිබේ නම්, ඒ ම මෙය අලගියවන්නතුමාගේ කෘතියක් බවට බලවත් සාධකයෙකි. යට කී අමාවතුර ග්‍රන්ථයාගේ ද කර්තෘනාමය පිටපත් කිපයෙක මිස බොහෝ පිටපත්වල නො පෙනේ. එහෙත් එය විද්‍යාචක්‍රවර්තීන්ගේ කෘතියක් නොවන බවට ඇතැම් පිටපත්හි ලැබෙන ඒ කර්තෘනාමාදර්ශීනය සාධකයෙක් නො වී ය. එසේ ම මෙහි ද සමහර පිටපත්හි කර්තෘනාමසූචකපද්‍යයන් ගිලිහී තිබීම මෙය අලගියවන්නතුමාගේ කෘතියක් නො වේ යයි කීමට සාධකයක් කර ගැණුම අතිශයඅයුක්ත ය. ග්‍රන්ථාන්තයෙහි පැණෙන කර්තෘනාම ගොත්‍රාත්මකපද්‍ය දෙක මැත දී අන්‍යයෙකු විසින් එකතු කරණ ලදැයි සිතීම ද යුක්ති යුක්ත නො වේ. අන්‍යයෙකුගේ කෘතියක් තදන්‍යයෙකුට හිමි කර දීම ඉන් බොහෝ මෑත සිටියෙකුට මඳ වූ ද ප්‍රයෝජනයක් ගෙණ දෙන්නක් නො වේ. අප්‍රයෝජන කෘත්‍යයෙක්හි මන්දයෙක් ද ප්‍රවෘත්ත නො වේ.

මෙහි හා කුසඳාහි සමානපද්‍යයන් දක්නා ලැබීම කෘතිද්වය එකකර්තෘක යයි කීමට බාධාවකැයි සලකන්නෝ ‘අන්‍ය කෘතීන්ගෙන් පද්‍යපාදාදිය ගැණුම තත්කෘතිවරයන්ට කරණු ලබන මහත් ගෞරවයකැයි ද, පුරාතනමහාකවීහු ද ඒ සිරිත අනුගමනය කළාහු යයි ද, ස්වකීය කෘතියකින් පද්‍යදිය ගෙණ තමන්ගේ ම අන්‍ය කෘතියෙක්හි යෙදීම මහත් නින්දාවෙකැ’යි ද කියති. අන්‍ය කෘතියකින් පද්‍යදිය පැහැර ගැණුම නින්දාවක් මිස ස්වකීය කෘතියකින් ගෙණ අනික් ස්වකීය කෘතියක යෙදුම නින්දාවක් නො වේ. තමන්ගේ දෑය තමන් කැමැති සේ කිරීම වරදෙකැයි සැලකිව කවර නීතියකට එකඟ වේ ද? මහාකවිකාලිදාසයන් වැනියෝ පවා තමන්ගේ පූර්වකෘතීන්ගෙන් ශ්ලොකපාදාදිය ගෙණ ස්වකීය නව්‍යකෘතීන්හි යෙදූහ. එහෙයින් කුසඳාහි හා දහම්සොඬකවෙහිත් සමානපද්‍ය දැක්ම දහම්සොඬකව අලගියවන්න මුකවෙටි තුමාගේ නො වේ යයි කීමට සාධකයෙක් නො වේ. මෙලෙසින් ධර්‍මධ්වජ තුමාගේ පක්‍ෂය ගන්නන් ප්‍රස්තුතාර්ථසමර්ථනයෙහි සවලප වූ ද ශක්තියක් නැති අතිශය දුර්වලතර්කයන්හි එල්බ සිටින බව පෙනේ.

අලගියවන්නමුකවෙටිතුමන් ගැඹුරු සකුමගද කවිතළු සිදු කිමිදි බව ඔවුන් විසින් කළ සැවුල් අස්නෙහි කියනලදී. හේ සංස්කෘතකාව්‍ය ග්‍රන්ථයන්හි පරිචිතිය ඇත්තෙක් වී නම්, සාස්කෘතපද්‍යයන්ගේ අර්ථයන් ගෙණ ස්වකීය කෘතීන් හොබවා ගණු නියතය. අලගියවන්න තුමාගේ කෘතීහු පුරාතන සිංහල මහාකවීන් විසින් කරණලද කාව්‍යයන්ගෙන් ගෙණ යෙදූ දැයින් ම පොහොසත් වූහ. දහම්සොඬකවෙහි ද ඒ ඒ තන්හි ඒබව දක්වා ඇත. මොවුන් විසින් වැඩියක් ආශ්‍රය කරණ ලද්දේ කව්සිළුමිණ, කාව්‍යශෙඛර, මයුරසන්දෙශ යන පොත් යයි හැඟේ. දහම්සොඬකවෙහි මෙන් ම සැවුල් අස්නෙහි ද කව්සිළුමිණෙන් ගත් අර්ථයන් හා වචන ද බොහෝ ය. මොවුන් විසින් කළ ‘සුභාෂිත’ නම් නීතිග්‍රන්ථයෙහි පමණක් සංස්කෘතපද්‍යයන්ගේ පරිවර්තනයෝ දක්නා ලැබෙත්.

පරංගිහටන නම් තවත් කුඩා කවිපොතක් ද මොවුන් විසින් රචනා කරණලදැයි කියතත් එය මොවුන්ගේ කෘතියක් බවට ජනප්‍රවාදය ම මිස අනික් එක ද සාක්‍ෂ්‍යයක් නැත්තේ ය. එය වනාහි දෙවෙනිරාජසිංහ රජහුගේ වික්‍රමාතිශයය වර්‍ණනා කරණු සඳහා එරජු හා පරංගින් ද අතර වූ යුද්ධයක් කථා ශරීරය වශයෙන් ගෙණ නිපදවන ලද්දකි. දෙවෙනිරාජසිංහ රජුගේ කාලයෙහි අලගියවන්න මුකවෙටිතුමන් පරංගින්ගේ යටතට පැමිණ ‘දොන් ජෙරෝනිමෝ අලගියවන්න නාමයෙන් ප්‍රසිද්ධ ව උසස් නිලයක් දරමින් පරංගින්ට අයත් ව තුබූ ප්‍රදේශයන්හි ජන ලෙඛනයක් (තොම්බුවක්) සම්පාදනය කළ බව ප්‍රසිද්ධ ය.‡

දහම්සොඬකව පළමුවරට ශුද්ධ කොට ව්‍යාඛ්‍යානයක් ලියූ ජඹුරලියේ පඤ්ඤානන්ද ස්ථවිරපාදයන් වහන්සේ අලගියවන්න තුමන් දෙවෙනි රාජසිංහ රජහුගේ කාලයෙහි සිටිබව කියති. එසේ කීමට හේතුව වූයේ මේ පරංගිහටන ම විය හැකි ය. දහම්සොඬකව අලගියවන්නතුමන්ගේ අනතිම කෘතිය යයි ද උන්වහන්සේගේ මතයකි. මෙහි අටළොස් වන කව ඊට සාධක කොට දක්වති. නමුත් අප අදහස් ඊට වෙනස් වේ. සැවුල් අස්නෙහි 66 වන—

“නර සිවුපා ගුණදම බැඳෙමින් සිටින”

යනාදි කව කරන්ට ඇත්තේ දහම්සොඬ කවෙහි පෙනෙන—

“සිවුපා පදුනි දිව”

යනාදි කව බලා ගෙණමය. මෙයින් දහම්සොඬකව සැවුල් අස්නට ද පුරාතන බව කිය හැකි ය. දහම්සොඬකව හා සැවුල් අස්නත් කරණ ලද්දේ බුද්ධවර්ෂ 2121 පමණේ දී සිංහාසනාරූඪ ව එකොළොස් අවුරුද්දක් පමණ සීතාවක වෙසෙමින් රජ්‍යානුශාසනා කළ පළමුවන රාජසිංහ රජුගේ කාලයේ දී ය. කුශජාතක කාව්‍යය වනාහි බුද්ධ වර්ෂ 2154 වන වර්ෂයේ දී නිමිවී ය.

පළමුවන රාජසිංහ රජතුමා වනාහි පොත්පත් ගිනි ලැවීම් ආදියෙන් ශාස්ත්‍රාගමවර්ධනයට බෙහෙවින් අකුල් හෙලූ රජෙකි. ඔහුගේ කාලයෙහි ශාස්ත්‍රාගම බොහෝ සෙයින් පිරිහී තුබුණු බව නිසැකය. එබඳු කාලයෙක්හි පවා මෙබඳු ග්‍රන්ථයන් නිපදවා ලූ අලගියවන්න මුකවෙටිතුමන් කෙරෙහි හැම සිංහලයන් ම කෘතඥ විය යුතු ය.

IV. ප්‍රමාණය වශයෙන් මේ ග්‍රන්ථය පද්‍ය එක්සිය තෙසැටෙකින් පරිමිත ය.

V. කාව්‍යග්‍රන්ථයෙකින් ලැබිය හැකි ප්‍රයෝජන බොහෝ ය. මඤ්ජුබුද්ධීන්ට ද කාව්‍යග්‍රන්ථානුශීලනයෙන් ධර්මාර්ථකාමමොක්‍ෂයන් ලැබෙන බව ශ්‍රී විශ්වනාථ කවිරාජයෝ කිහ.

‡ මේ කවෙහි සඳහන් සමරදිවාකර මැතිඳුන් ද පරංගි පක්ෂයට බැඳී දොන් ජෙරෝනිමෝ නමින් ප්‍රසිද්ධ ව සිටිබව ඇතැම්හු කියත්.

හෘදු ව්‍යාකරණාදි ශාස්ත්‍ර හා ආගම ධර්‍මත් ඉගෙනීමෙහි මැලි වූ සුකුමාර මතීන්ට එකී ශාස්ත්‍රාදිය කාව්‍යග්‍රන්ථයෙක්හි ඇතුළත් කොට උගන්වන්නට වන්කල ඉතා පහසු වේ. එහෙයින් කාව්‍යග්‍රන්ථ මධුශර්කරා යුක්ත තික්ත ඖෂධ වැන්නැයි මහාකවී අශ්වඝොෂාචාර්‍ය්‍යයන් විසින් කියනලදී. ආචාර්‍ය්‍ය භාමහයෝ ද, “යහපත් කාව්‍යග්‍රන්ථ සෙවනය කිරීම ධර්‍ම අර්ථකාම මොක්‍ෂයන්හි හා සිවුසැටකලාවන්හිත් විචක්‍ෂණභාවය හා කීර්තියත් ප්‍රීතියත් කෙරේ” යයි කිහ. මෙයින් කාව්‍යග්‍රන්ථයකින් ලැබිය හැකි ප්‍රයෝජන පැහැදිලි වේ. දහම්සොඬකව වනාහි උසස් කාව්‍යග්‍රන්ථයෙකැයි නො කිය හැකිය. එහෙත් මෙබඳු පොත් පළමු කොට නිසෙවනය කිරීමෙන් උසස් කාව්‍යග්‍රන්ථයන් අසුරු කිරීමට මඟ පෑදෙන්නේ ය. මේ කාව්‍යයෙන් ප්‍රකාශ වනුයේ බොධිසත්ව චරිතයකි. එය ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජන මේ පොතෙහි අටළොස් (18) වැනි පද්‍යයෙන් ප්‍රකාශ වේ.

VI. මෙහි කාව්‍යශරීරය වනාහි අපගේ බුදුරජානන්වහන්සේගේ පූර්වචරිතයෙකි. “එක්කලෙක්හි අප බෝසත් තෙමේ රජකුලෙහි ඉපිද දඹදිව අගරජ විය. එතුමා ධර්‍මශ්‍රවණය නැති වීමෙන් කලකිරී දහම් සොයනුවස් වල් වැද තැවෙමින් සිටියේ ඒ බව දැන රකුස් වෙස ගෙණ පැමිණි ශක්‍රයා “අනිච්චාවත සඞ්ඛාරා” යනාදි ගාථාව කියමින් සිටිය දී පළමු ගිවිසුම ලෙස ඔහුගේ මුඛයට ගිරිරුදුනෙක සිට පැන්නේය. එයින් තුටු වූ ශක්‍ර තෙමේ එරජ තුමන් දෙව්ලොවට වඩාගෙණ ගොස් සුරසිරි පෙන්වා අවවාද කොට මිනිස් ලොවට ඇර ලීය.” යනු එහි සංක්‍ෂෙපයයි.

VII. මේ කාව්‍යග්‍රන්ථය මින් අවුරුදු කිපයකට ඉහත දී ඉතා දුර්ලභ ව පැවැත්තේ ය. ඒ කාලයෙහි ජඹුරලියේ පඤ්ඤානන්‍දාභිධාන ස්වාමිපාදයන් වහන්සේ පිටපත් කිපයක් සපයා ගෙණ මහත් පරිශ්‍රමයෙන් මුලග්‍රන්ථය ශුද්ධ කොට පදගතාර්ථව්‍යාඛ්‍යානයක් ද නිපදවා ලූහ. මුල දී පොත කෙබඳු තත්ත්වයක පැවැත්තේ දැයි නොදන්නන්ට උන්වහන්සේගේ කෘතියෙහි ප්‍රශංසාර්හත්වය නො වැටහේ. ඉතා දුර්ලභ ව පැවැති පොතක් බොහෝ දුර ශුද්ධියට පමුණුවා සුලභ කර ලූ උන්වහන්සේ සාධූන්ගේ ගෞරවයට භාජන වෙති.

ඉතාමහත් නුවූ ද ඉතා කුඩා නුවූ ද මේ පොත කියවීමෙන් ප්‍රසන්න වූ කිප දෙනෙක් ම මේ පොතට විස්තරාර්ථවර්‍ණනාවක් නිපදවාලුව මැනවැයි අපට ආරාධනය කළහ. වෙසෙසින් ඩී. ඩබ්ලිව්. සමරනායක මහතා මේ කෘතියෙහි වැඩියක් ම අප උත්සාහවත් කෙළේ ය. එහෙයින් මේ කෘතියෙහි ආසක්තව පළමු කොට මුල ග්‍රන්ථය ශුද්ධ කර ගනුම්හ.

අපගේ පාඨයෙහි පළමුවෙන් මුද්‍රිත ග්‍රන්ථයට වඩා විසදෘශ ස්ථාන දක්නා ලැබේ. එහෙත් ප්‍රථම ප්‍රස්තාවයෙහි තුබුණු පාඨ අබෝලිප්ත වශයෙන් දක්වා ඇත. එහෙයින් කවර පාඨයක් නිරවද්‍ය ද යනු නිරවුල් කර ගැණුම සුධීන්ට අපහසු නො වේ. මුල පාඨය ශුද්ධ කර ගත් ඉක්බිති විස්තර කට යුතු පදයන් උද්ධරණය කරමින් විස්තරාර්ථ වර්‍ණනාවන් දැක්වූම්හ. අන්වයානුගත ව පදයක් පාසා පර්‍ය්‍යායවචන දැක්වීමෙන් ඇති වීම අයහපත් පුරුද්දක් හෙයින් පද්‍යයට අනතුරු ව පදගතාර්ථ නො දැක්වූම්හ. එහෙත් සන්නය බලා අර්ථ ඉගෙනීමෙහි පුරුදු වූවන්ගේ පහසුව සඳහා ව්‍යාඛ්‍යානයක් ග්‍රන්ථයාගේ අවසන්හි උපග්‍රන්ථයක් වශයෙන් යෙදූ නමුත් සන්නය නො බලා අන්වය සලකා අර්ථ ඉගෙනීමට පුරුදු විය යුතුයි. එසේ ඉගෙනීමෙන් සරල (සාජු) නුවූ ක්‍රියාකාරක පද සම්බන්ධ ඇති පද්‍යයන්ගේ පවා අර්ථය වහා වටහා ගැනීමට ශක්තිය නොබෝ කලෙකින් ලැබේ. අනුත්තාන වූ (උඩුකුරු නුවූ=ගැඹුරු) පදයන් බෙහෙවින් වර්‍ණනා කළෙම්හ. සුගම (සුඛාවබොධ) පදයන් වර්‍ණනාවෙන් හළෙම්හ. ආඛ්‍යාත (ක්‍රියා) කෘදන්ත (පසරුත්) ශබ්දයන්ගේ ධාතුප්‍රකෘති ආදිය විවරණ ඉගෙන ගන්නන්ගේ ප්‍රයෝජනය තකා දැක්වුම්හ. ග්‍රන්ථබාහුල්‍යභීතින් බොහෝ තැන් සංක්‍ෂෙප කළෙම්හ.

මේ විතිය මුද්‍රණයෙහි දී වැඩිදුරටත් මේ ග්‍රන්ථය ශුද්ධ වූ නමුත් අපගේ ප්‍රමාදාදියෙන් තවත් අශුද්ධ ස්ථාන ඉතිරි ව තිබිය හැකි බවත්, එබඳු තැන් ශුද්ධ කර ශිෂ්‍යයන්ට ඉගැන්වීම සුධීන්ට අපහසු නො වන බවත් සඳහන් කරමු.

Weliwitiye Sorata.
2478
1934 ජුලි 25 වෙනි දින
විද්‍යොදය පිරිවෙණේ දී යඃ